ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 18, 2019

ඇල්පිටියේ ගිනි අවි කම්හලේ හසුවූ පාසල් නොගිය සැකකරු පරිගණකයෙන් බලා ඕනෑම ගිනි අවියක් හදනවලු


ඇල්පිටිය, නුගේතොට ප‍්‍රදේශයේ ගරාජයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ආයුධ කම්හලක් වටලා එහි නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් හා ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා උපකරණ තොගයක්ද සමග
ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 2019 පෙබරවාරි මස 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බද්දේගම මහෙස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා සිකුරාදා (15) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත‍්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ මීමැදුම, බද්දේගම ලිපිනයේ පදිංචි අජිත් කුමාර (35) නමැති අයයි.

ඇල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති
උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඕනෑම වර්ගයක ගිනි අවියක වීඩියෝවක් පරිගණකයක් මගින් නිරීක්ෂණය කර එම ගිනි අවිය නිෂ්පාදනය කිරීමේ සුවිශේෂි හැකියාවක් සහිත අයෙකු බවද ඇල්පිටිය පොලීසිය කියයි. සැකකරු සමග ගිනිඅවි නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා ලේත් මැෂින් එකක්, වෙල්ඩින් ට‍්‍රාන්ස්ෆෝමරයක්, පරිගණක කොටස් තොගයක්, නිෂ්පාදනය කරන ලද ගිනිඅවි කොටස් විශාල ප‍්‍රමාණයක් හා අංග සම්පූර්ණ ගිනි අවියක් ද ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු නවීන තාක්ෂණයෙන් යුත් ගිනි අවි පරිගණක මාර්ගයෙන් නිරීක්ෂණය කර එම ගිනි අවි නිපදවා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරු කිසිදා පාසල් නොගිය අයෙකු බවත් එසේ තිබියදී පරිගණක භාවිතය සහ ගිනිඅවි නිෂ්පාදනය පිළිබඳ හසල දැනුමක් ලබාගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලීසියේ ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකරු කොපමණ කාලයක සිට ගිනිඅවි නිෂ්පාදනය කරන්නේද යන්න පිළිබඳ සහ සැකකරු කොපමණ ගිනිඅවි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර තිබෙන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කරන බව ඇල්පිටිය පොලීසිය කියයි.

ඇල්පිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩුකටයුතු මෙහෙයවීය.

-අනුර යසමිත් -

No comments:

Post a Comment

Post Bottom Ad