පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී හා රනිල් භාර ගත යුතුයි - බුද්ධි නිලධාරියෙක් කොමිසමට සාක්ෂි දෙමින් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 10, 2020

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී හා රනිල් භාර ගත යුතුයි - බුද්ධි නිලධාරියෙක් කොමිසමට සාක්ෂි දෙමින් කියයි

පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපති හා අගමැති භාර ගත යුතු බව 2017 - 2019 කාලයේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවය කළ යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක් එම ප්‍රාහරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට සාක්ෂි ලබා දෙමින් අවධාරණය කරයි.

ඔවුන් පක්ෂවලට කඹ ඇඳීම හේතුවෙන් බුද්ධි තොරතුරු ගැන අවධානය ගිලිහීම අදාළ ප්‍රහාරයට හේතු වූ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ පෙන්වා දෙන්නේ.

ප්‍රහාරයට පෙර මාර්තු මාසයේදීද බුද්ධි සමාලෝචන රැස්වීම්වල න්‍යාය පත්‍රයටද සහරාන් හෂීම් ගැන කතා බහ කළ යුතු බවට දක්වා තිබුණද පසුගිය ආණ්ඩු සමයේ අවධානය යොමුව තිබුණේ සංහිඳියාව සහ නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් බවයි බුද්ධි නිලධාරියා පවසන්නේ.

"බුද්ධි සමාලෝචන රැස්වීමවලදී සහරාන් හෂීම් ගැන කතාබහට ලක් විය යුතු  බව මම අවධාරණය කළා. අවස්ථා දෙකකදී බුද්ධි සමාලෝචන රැස්වීමේදී න්‍යාය පත්‍රයට Activities of Mohomad Saharan ලෙස යෙදුවා."

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් ගැන තොරතුරු ලැබී තිබුණේදැයි කොමිසම සක්ෂිකරුගෙන් විමසා සිටින අතර ඊට පිළිතුරු දෙමින් ඔහු කියා සිටින්නේ බොහෝ තොරතුරු ලැබුණත් ඒවා බහුතරයක් විවෘත තොරතුරු වන අතර සහරාන් හෂීම් ගැන කිසිදු භුමියේ තොරතුරක් නොලැබුණු බවයි.

මේ අතර සතියේ සෑම අඟහරුවාදා දිනකම ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් බුද්ධි සමාලෝචන රැස්වීමක් පැවැත් වූ අතර ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයට ලැබෙන තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියා විසින් අදාළ රැස්වීමේදී  ඉදිරිපත් කරන බවද ඔහු පවසනවා.

"කෙසේවෙතත් සතියකට වතාවක් හෝ දෙකක් ඇතැම් බුද්ධි තොරතුරු ආරක්ෂක  ලේකම්වරයාට පෞද්ගලිකව ඉදිරිපත් කිරීමට ඉල්ලීමක් කළත් ඊට අවස්ථාවක් හිමි වුණේ නැහැ."

ආරක්ෂක ලේකම්වරුන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ජා කළේද යන්න මෙහිදී කොමිසම සක්ෂිකරුගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දුන් බුද්ධි නිලධාරියා පෙන්වාදෙන්නේ එම සම්බන්ධීකරණය අතර විශාල ප්‍රශ්නයක් පැවති බවයි.

"එතන විශාල ප්‍රශ්නයක් තිබුණා. අපි ජාතික බුද්ධි ප්‍රධානියාට ඇතැම් අවස්ථාවලදී පීඩනයක් එල්ල කළා මේ තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කරන්න කියල. එවිට ඔහු ලිපි ගොණු සමඟින් ආරක්ෂක ලේකමවරයා හමුවීමට ගියත් ඊට අවස්ථාවක් හිමි වුණේ නැහැ. ඇමරිකාවේ CIA ආයතනයෙන්  පවා ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයට තොරතුරු ලබා දෙනවා. නමුත් අපට ලැබෙන තොරතුරු විශ්ලේෂණය කර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩල සහ තාක්ෂණික උපකරණ ප්‍රමාණවත් නැහැ."

පවත්නා තත්ත්වය මත ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයට තවදුරටත් නෛතික බලයක් අවශ්‍ය බවයි එම බුද්ධි නිලධාරියා කොමිසම හමුවේ සඳහන් කරන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad