පිටරටවල ලොතරැයි ඇදිලා කියලා අන්තර්ජාලය හරහා කෝටි 6ක් ගරලා,14 දෙනෙක් අත්අඩංගුවට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 18, 2020

පිටරටවල ලොතරැයි ඇදිලා කියලා අන්තර්ජාලය හරහා කෝටි 6ක් ගරලා,14 දෙනෙක් අත්අඩංගුවට.


පිට රටවල ලොතරැයි දිනුම් ඇදී ඇති බව හා පිට රටකින් වටිනා ත්‍යාගයන් ලැබී ඇති බව පවසමින් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍යය භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ මෙරට පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි 06 කට අධික මුදල් වංචා කළ විදෙස් ජාතිකයන් 14 දෙනකු පොලිසිය විසින් මෙරටදී අත්අඩංගුවට ගෙන ඇත.

 මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නයිජීරියානු, චීන සහ පිලිපීන ජාතිකයන් පිරිසක් සිටින බව පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා පෙරේදා (16 දා* පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

 අදාළ සැකකරුවන් විසින් වෙනත් රටවල් වෙත පිටත් වීම සඳහා වීසා ලබා දෙන බව පවසමින් සහ පිට රටකින් ලොතරැුයි දිනුම් ඇදී ඇති බව සහ වටිනා ත්‍යාගයන් පිරිනැමීමට ද ඇති බව පවසමින් ඒවා ලබා දීමට රේගු ගාස්තු සහ ප‍්‍රවාහන ගාස්තු ගෙවන ලෙස දන්වා නොයෙක් ගිණුම් අංක ඉදිරිපත් කරමින් එම අංකයන් ඇතුළත් ගිණුම් වෙත මෙලෙස මුදල් බැර කර ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 ඒ අනුව එම සැකකරුවන් විසින් කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවත් ඉන් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවටත් පැමිණිලි 101 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනවිට ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

 එම පැමිණිලිවලට අනුව මෙතෙක් සිදුකළ විමර්ශනයන්ට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉදිරියේදී ඔවුන්ට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් මෙම සිද්ධීන්ට අදාළව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් නියොජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

 සමාජ මාධය භාවිතයේදී සහ අන්තර්ජාලයේ කටයුතු සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසත් අන්තර්ජාලය හරහා සිදු කෙරෙන මෙවැනි වංචා වෙනුවෙන් අසු නොවන ලෙසත් පොලිස් මාධ්‍ය හා තොරතුරු කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad