කාන්තා ඇඳුමින් දඹුල්ල නගරයේ සැරි සැරූ තරුණයකු මරා දමලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 5, 2017

කාන්තා ඇඳුමින් දඹුල්ල නගරයේ සැරි සැරූ තරුණයකු මරා දමලා

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි කුලී රථ නැවතුම්පළ ස්ථානයේ තිබී ඝාතනය කරන ලද තරුණයකුගේ මළ සිරුරක් ඊයේ (5දා) අලුයම සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි. මේ තරුණයා පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල කලුන්දෑව වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර (34) නමැති අයෙකි. මියගිය පුද්ගලයා නිතර නිතර දඹුල්ල නගරයේ රාත්‍රි කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලිසිය කියයි. 

ඝාතනය සිදුවන අවස්ථාවේදී මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි බව පොලිසිය කියයි. මේ ස්ථානයේ සිටි අයකු කියා සිටියේ අලුයම 2ට පමණ මෙම තැනැත්තා වැටී සිටිනු දැක පොලිසියට දැනුම් දුන් බවයි. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඇතුළු කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කොට තිබේ. ඝාතනය සිදුවූ ස්ථානයේ පුද්ගලයාට පහර දුන් බවට සැක කෙරෙන ලීි දඬු මෙන්ම මෙම පුද්ගලයාගේ බවට සැකකරන කුඩයක්, අත් ඔරලෝසුවක් ස්ථාන කිහිපයක වැටී තිබියදී සොයාගෙන තිබේ. 

මියගිය තරුණයාගේ සහෝදරියක හඬා වැටෙමින් කියා සිටියේ මියගිය තම මල්ලීගේ දුරකතනයෙන් අලුයම තුනට පමණ පුද්ගලයකු තමන්ට ඇමැතුමක් ලබාදී පරුෂ වචනයෙන් බැන තම මල්ලී ඝාතනය කළ බවට කී බවත් කටහඬ හඳුනා ගැනීමට නොහැකි බවත්ය. උදෑසන රෝහල ඉදිරිපිටට පැමිණි මියගිය තරුණයාගේ පියා සහ ඥාතීන් හඬා වැටෙන අයුරු දැක ගැනීමට හැකි විය. 

මෙම මියගිය පුද්ගලයා කාලයක සිටම කාන්තා ඇඳුමෙන් සැරසී නගර ආශ්‍රිතව කාලය ගත කිරීමත් කාන්තාවන් ඇසුරු කිරීමත් සිදු කරන බවත් ඔහු ආකාරයෙන්ම හැසිරෙන තවත් කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. පොලිසිය සඳහන් කළේ ඇතැම් දිනවල රාත්‍රි කාලයේ මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා මෙම තරුණයා ඉදිරිපත් කළ අයකු බවයි. මෙම ඝාතනයට හේතු වූ සිද්ධිය මෙතෙක් අනාවරණය වී නැත. මේ පිළිබඳව වැදගත් තොර තුරු රැසක් මේ වන විටත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

දඹුල්ල - කේ. කේ. ආරියදාස, ධම්මික - නාමල් කෝරාල, සීගිරිය - දිනේෂ් ආරච්චිලගේ

No comments:

Post a Comment

Post Bottom Ad