ආත්ම ගෞරවය රැකගෙන මම මේ නඩුවෙන් ඉවත් වනවා.. පර්පචුවල් ප‍්‍රධාන නීතිඥයාගෙන් බරපතල ප‍්‍රකාශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 4, 2017

ආත්ම ගෞරවය රැකගෙන මම මේ නඩුවෙන් ඉවත් වනවා.. පර්පචුවල් ප‍්‍රධාන නීතිඥයාගෙන් බරපතල ප‍්‍රකාශයක්

පර්පචුවල් සමාගම සිදුකොට ඇති ක්‍රියාවන් සම්බන්ධයෙන් කොමිසම හමුවේ හෙළිදරව් වන තොරතුරු සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රධාන නීතිඥවරයා වශයෙන් තමා ඉමහත් ලැජ්ජාවට පත්වන බවත්, එම තොරතුරු තමාට වසන් කරමින් ඔවුන් තමාගේ සේවය ලබාගත් බවත් ඒ අනුව ආත්ම ගරුත්වයක් ඇති නීතිඥවරයකු වශයෙන් තවදුරටත් එම සමාගමේ ප්‍රධාන නීතිඥවරයා වශයෙන් කටයුතු කිරීමට කිසිසේත්ම තමා සූදානම් නැති බවත් අර්ජුන් ඇලෝසියස්ගේ සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන නීතිඥවරයා වශයෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා ඊයේ (04දා) කොමිසමට ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා කොමිසම හමුවේ එලෙස ප්‍රකාශ කර සිටියේ ඊයේ කොමිසම හමුවට පැමිණ සාක්ෂි දුන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන මිලදී ගැනුම් හා අලෙවි නිලධාරි නුවන් සල්ගාදු හෙළිකර සිටි ආන්දෝලනාත්මක ප්‍රකාශයන්ගෙන් පසුවය. ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කර සිටියේ පෙරදින සාක්ෂි දුන් සාක්ෂිකරු විසින් ප්‍රකාශ කොට ඇති පරිදි දුරකතන අංක 10කට අදාළව නොව 10කට වැඩි ප්‍රමාණයකට අදාළ සියලු දත්ත විනාශ කරන ලෙසට ඔහුට තමා උපදෙස් දුන්නේ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනගේ උපදෙස් මත බවත් සමාගමේ සෑම කටයුත්තකදීම කසුන් පලිසේන තීන්දු තීරණ ගන්නේ තනිව නොව සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමඟ බැවින් මෙය ඔහුගේත් පලිසේනගේත් තීරණයක් බව තමාට විශ්වාස බවත්ය.

ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මීට පෙර අවස්ථාවකදී කොමිසම හමුවේ මෙම දත්ත විනාශ කිරීමේ සිද්ධිය ප්‍රකාශ වූ දිනයේදීද කොමිසම කියා සිටියේ තමා කොමිසම හමුවේ පෙනී සිටින්නේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලේඛන පිළිබඳ ගැටලු  සම්බන්ධයෙන් පමණක් බවත් සමාගම විසින් සිදුකර ඇති විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් පෙනී නොසිටින බවත්ය. “කැත වැඩ මා අනුමත කරන්නේ නෑ”   යනුවෙන්ද ප්‍රකාශ කරමින් එදින ඔහු අසුන් ගත්තේය.ජනාධිපති නීතිඥවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් කොමිසමේ සාමාජික ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා ඔහුට පවසා සිටියේ නිවීසැනසිල්ලේ තවදුරටත් කල්පනා කොට තම තීරණය ඊළඟ දිනයේදී කොමිසමට දැනුම් දෙන ලෙසය.

No comments:

Post a Comment

Post Bottom Ad