කෝටි 700 මැණික් කොල්ලයට මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 19, 2019

කෝටි 700 මැණික් කොල්ලයට මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

කෝටි 700 මැණික් කොල්ලයට මධුෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙය වූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්තියක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව ඔහුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

31 හැවිරිදි කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නැමති ඔහු මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ වත්තල - වෙඩිකන්ද ප්‍රදේශයේදිය.

පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබිණි.

රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තියක් සහ රුපියල් කෝටි 200 ක් වටිනා මැණික් මෙලෙස කොල්ලකා තිබූ අතර, කොල්ලකෑම සිදුවන අවස්ථාවේ ඒවා මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුද අත්විලංගු දමා පැහැරගෙන ගොස් මහරගම ප්‍රදේශයේ දමා ගොස් තිබියදී හමුවිය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර තුසිත මදුරංග නොහොත් මාතර මල්ලී නැමැත්තා ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු සහ දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර දැනට ඩුබායි හි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ට අයත් බවට පැවසෙන සියලූම බැංකු ගිණුම් පරීක්ෂා කිරීම දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඩුබායි සහ මෙරට බැංකු ගිණුම් 23කට වැඩි ප්‍රමාණයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.

බැංකු ගිණුම්වලට අමතරව මධුෂ්ට අයත් බව කියන වත්කම් පිළිබදව ද මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී ඇති බව සඳහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad