මෙම පෙබරවාරි මාසයේ ගතවූ දින 19 ඇතුළත රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගසා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.
පසුගිය නොවැම්බර් මාසයේ භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී මෙවර අපට සිටියේ 45% ක් පමණි. නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියහ. මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චුගැසීමට භාණ්ඩාගාරයට සිදුවිය. මුදල් අච්චුගැසීම එතරම් හොඳ දෙයක් නොවේ. අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.
වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.
ඊයේ(20) ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව නිකුත් වූ පසුව මෙම පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 තුළ කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා තිබේද යන්න මා විසින් මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි. මෙම දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක් මුදල් අච්චුගසා ඇති බව ඉන් පහැදිළි විය. බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.
මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.
පසුගිය ජනවාරි 19 වන දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණි. ඉහත දී ලංකාවට ණය ලබාදීමට තරඟයක් පැවතිණ. දැන් කුමක්ද සිදුවී ඇත්තේ ?
ඒ නිසා අපට සිදුවුණා, අපේ සංචිත වලින් එය ගෙවීමට. මතක තියාගන්න, යහපාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා 2019 නොවැම්බර් 16 දින වනවිට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්නයෙන් 0.5 ක් රත්‍රන්ය. රත්‍රන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මීට ඉහත සංචිත තුළ තිබුණි. එම රත්‍රන් තොගය අපට අහිමි කලේ අජිත් නිවාඩ් කබ්රාල් සහ මහින්ද රාජපක්ෂය.
අප සතු මේ බිලියන 4.5 ක් වූ සංචිතය කොපමණ ප්‍රමාණවත් ද ? මේ වසරේ පමණක් බිලියන 6.5 ක් ණය ගෙවීමට තිබේ. (ආනයන අපනයන පැත්ත හැර) මේ හේතුවෙන් රට ඉතාමත් අසීරු තත්ත්වයකට අද මුහුණ දී සිටී. ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව, ඉරාකය, ඇන්ගෝලාව වැනි රටවල් මට්ටමට දමා තිබේ. කෝවිඩ් වසංගතයෙන් රටවල් ගලවා ගැනීමට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සෑම රටකටම ආධාර ලබාදෙන ලදි. පාකිස්තානයට හා නේපාලයටත් ලබාදුනි. නමුත් අපට දුන්නෙ නැත. ඒ ඇයි ?
ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවී ඇත්තේ කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එහෙයින් ලංකාවට ණය ලබා දී ඵලක් නොමැති බව ඔවුනගේ මතයයි. මේ ආකාරයට ගොස් රට බංකොළොත් වුවහොත් මොනවගේ දෙයක් වෙයි ද ? ග්‍රීසියේ කතාව කොයි වගේද ? ලෙබනනයේ, ඇෆ්ගනිස්ථානයේ කතා කොයි වගේ ද ?
හැමදාම මේ ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගලට හා පී.බී. ජයසුන්දරට බියගම මුදල් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවෙන් දවසකට බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට ගෙනියන්න පුළුවන් ද ? කොපමණ දුරක් මේ ගමන යන්නද ? ඉතාම ඉක්මනින් මේ රට කඩාවැටීමට මෙම ක්‍රියාවලිය හේතුවිය හැකි බව අප මතක තබාගත යුතුයි.
No comments:
Post a Comment