නානුඔය රෝහල විවෘත කිරීමට ප්‍රා. සභා සභාපතිවරයාට ආරාධනා නොකළ නිසා රෝහලේ වතුර කපලා - ප්‍රතිකාර කටයුතු ඇනහිටී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 21, 2021

නානුඔය රෝහල විවෘත කිරීමට ප්‍රා. සභා සභාපතිවරයාට ආරාධනා නොකළ නිසා රෝහලේ වතුර කපලා - ප්‍රතිකාර කටයුතු ඇනහිටී !

රුපියල් මිලියන 37 ක ණය ආධාර මත ඉදිකළ නානුඔය ප්‍රාථමික වෛද්‍ය ඒකකය විවෘත කළේ පසුගිය 18 වැනිදායි. කෙසේ නමුත් ඊට පසුදින සිට එම රෝහලේ ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට නොහැකි වී තිබෙනවා.

මීට හේතු වී තිබෙන්නේ රෝහලේ ජල සැපයුම අත්හිටුවීමට නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කටයුතු කර තිබීමයි. මීට අමතරව රෝහලේ කැලිකසල ඉවත් කිරීමෙන්ද ප්‍රාදේශීය සභා සේවකයන් ඉවත් කර තිබෙනවා.

නානුඔය ප්‍රදේශයේ වතු පහකට සහ ගම්මාන තුනකට අයත් 20,000 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නානුඔය රෝහලට පැමිණේ. පසුගිය දින කිහිපය පුරා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණි ජනතාවට හිස් අතින් ආපසු හැරී යාමට සිදුව තිබෙනවා.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජල සැපයුම අත්හිටුවා තිබෙන්නේ ප්‍රාථමික වෛද්‍ය ඒකකය විවෘත කිරීමේ උත්සවයට ආරාධනා කර නොතිබීම නිසා බවයි රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ. විවෘත කිරීමේ උත්සවය සීබී. රත්නායක අමාත්‍යවරයාගේ සහ ජීවන් තොන්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර කෙසේ නමුත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට ආරාධනා කර නොතිබීම නිසා තොන්ඩමන් රාජ්‍ය අමාත්‍යවරයා විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවී ආපසු හැරී ගොස් තිබෙනවා.

කෙසේ නමුත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ රෝහලේ කටයුතු සඳහා භාවිතා කළ ජලය වෙනුවෙන් රුපියල් 54,778 ක මුදලක් ප්‍රාදේශීය සභාවට අයවිය යුතු බවයි. එම මුදල් නොගෙවීම නිසා ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ඔහු පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad