ක්‍රිකට්‌ පැරදුණේ 'ඇදගෙන නා ගැනීමෙන්ද?' - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 10, 2017

ක්‍රිකට්‌ පැරදුණේ 'ඇදගෙන නා ගැනීමෙන්ද?'

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව දැන් වැටී ඇත්තේ ගැඹුරු ප්‍රපාතයකටය. මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කරවන ඉහළ බලධාරීන් දැන්ම 'සුපිරි ගේමක්‌' ක්‍රියාත්මක නොකළහොත් එම ගැඹුරු ප්‍රපාතයේම ක්‍රිකට්‌ වැළලී යනු ඇත. නමුත් තවමත් සිදුවන්නේ පරණ තැටියම කරකැවීම බැවින් ක්‍රිකට්‌ ගොඩ ගන්නට නම් අලුත්
තැටියක්‌ සොයාගත යුතු යෑයි අප දිගින් දිගටම සඳහන් කර සිටියෙමු. අවාසනාවකි. බලධාරීහු ඇස්‌ නොපෙනෙන කන් නොඇසෙන සේ පටි තද කරගද්දී ක්‍රිකට්‌ තවත් එරී ඇති සෙයකි.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මේ ගැන සොයාබලන බවට ඒත්තු ගැන්වීමට හෝ මොනයම් විකල්පයක්‌ සොයාගැනීම උදෙසා හෝ මෙරට සිටින සියලුම ක්‍රිකට්‌ විශේෂඥයන්ව කැඳවා විසඳුමක්‌ සෙවීමට සැලැස්‌මක්‌ සකස්‌ කර තිබේ. එම අදහස්‌ විමසීම ලබන 15 වැනිදා සිදුවන අතර එයත් 'අතීසාරයට අමුඩ ගැසීමක්‌' වේදැයි ඇත්තේ දෙගිඩියාවකි. කෙසේ වෙතත් ක්‍රීඩා ඇමැතිවරයාගේ සිට ක්‍රිකට්‌ පරිපාලනයේ ඉහළ

පුටුවල සිටින සියලු දෙනාම මෙරට ක්‍රිකට්‌ කප්පාදුවේ කොටස්‌කරුවන්ය. ඒ මෙරට ක්‍රිකට්‌ වැඩිම පරාජයන් ගොන්න ලැබුවේ ඔවුන්ගේ සමයේදීය.

කෙසේ වෙතත් අදාළ පරාජයන් සමඟ මුලින්ම ඉවත් වූයේ ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆොaඩ්ය. ඒ වෙනුවට පත්වූ නික්‌ පෝතාස්‌ගේ බාහුවේ ඇත්තේ බුදුරුවක 'පච්චයක්‌' බව ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ කතාවකි. එම නිසා දෝ පෝතාස්‌ අත් දිගට දමාගෙන මාධ්‍ය හමුවලට පැමිණීම පුරුද්දක්‌ කරගෙන ඇත. ඒ පච්චයත් ශ්‍රී ලංකාවේ පරාජයට සාපයක්‌ විය හැකිය. ඔහු පුහුණුකරු ධුරය පටන් ගත් දා සිට ක්‍රිකට්‌ ආකෘති තුනේදීම ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 15 කින් 11 ක්‌ම පරාජය වී තිබේ. 'ශ්‍රී ලංකා කණ්‌ඩායමට 'කෝකියෝ' ගොඩක්‌ ඉන්නවා යෑයි කියූ පෝතාස්‌ එම ප්‍රකාශයෙන් පැය 48 ක්‌ ඇතුළත ඇතුළේ සියල්ල හොඳින් බව තවත් දෙබිඩි කතාවක්‌ කීවේ රැකියාව ආරක්‌ෂා කරගැනීමට විය හැකිය.

2019 වැනි තෙක්‌ නායකත්වයේ ඔටුන්න පළඳා සිටි ඇන්ජලෝ මැතිව්ස්‌ හිටි හැටියේම ඔටුන්න ගලවා දැමුවේ ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙනි. එංගලන්තයේ පැවැති චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියේ පළමු තරගයට සූදානමින් සිටි මැතිව්ස්‌ට නායකයා ලෙස විවේකයක්‌ ලැබුණි. ඒ ඔහුගේ ආබාධය සුව නොවීම යෑයි කතාවක්‌ පැතිරුණ ද මැතිව්ස්‌ තරගයට පෙර දිනයේ ඕවල් පිටියේ අපූරුවට වට කිහිපයක්‌ දුවගොස්‌ ශාරීරික ව්‍යායාම්වල ද නිරත විය. කෙසේ හෝ සිම්බාබ්වේ තරගාවලියේ ටෙස්‌ට්‌ තරගයට පැය 48 ක්‌ පමණ තිබියදී මැතිව්ස්‌ ඉල්ලා අස්‌වීම තීන්දු කර දැමුවේය. මැතිව්ස්‌ගෙන් පසු චන්දිමාල්ට ටෙස්‌ට්‌ පිලත් තරංගට එක්‌දින හා විස්‌සයි විස්‌සත් ඔටුන්න හිමිවිය. අවාසනාව මෙයයි. ඉන්දියාව සමඟ පැවති ටෙස්‌ට්‌ තරග තුන සහ එක්‌දින තරග පහ ඇතුළත ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නායකයන් පස්‌ දෙනෙක්‌ පත්කිරීමට සිදුවිය. ඊට හේතුව තරග තහනම් සහ ආබාධය. එක්‌ තීරණයකින් කණ්‌ඩායමක්‌ කණපිට පෙරළෙන්නේ සිදුනොවිය යුතු වෙනස්‌කම් නිසා බැවින් බව ක්‍රිකට්‌ ගැන අග සිට මුලටම දන්නා 'පණ්‌ඩිතයන්ට' නොවැටහීම ද එක්‌තරා කරුමයකි.

පියවරෙන් පියවර ලොව ඉහළටම ගිය මෙරට ක්‍රිකට්‌ හිටි හැටියේ හතර හන්ඳි කැඩෙන්නට පොළොවේ ගසා දැන් අවසන්ය. දැන් ඇත්තේ ප්‍රතිකාර සෙවීමයි. එබැවින් කවුරු මොන 'බයිලා' ගායනා කළ ද මෙරට ක්‍රිකට්‌ යනු ඉතාමත් ගාම්භීර ලෙස දලු ලා වැඩුනු වෘක්‌ෂයක්‌ බව අතීතයේ ඕනෑ තරම් සාක්‌ෂි තිබේ. නමුත් එසේ තිබූ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ වැනි රටවලට සිදුවූ ක්‍රිකට්‌ වින්නැහිය මෙරට ද දැන් සේන්දුවී ඇති සෙයකි.

පන්දුවාර පනහ (1996) සහ විස්‌සයි විස්‌ස (2014) ලෝක ශූරතා දිනූ ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලාන තරගාවලි හතරකම අනුශූරයෝ බවට පත්විය. ලොව වැඩිම ටෙස්‌ට්‌ සහ එක්‌දින කඩුලු බිඳ දැමූ සුපිරි පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ද බිහිවූයේ ක්‍රිකට්‌වලටම උපන් දේශයක්‌ වන ශ්‍රී ලංකාවේදීය. එපමණක්‌ ද නොව ලෝකයේ ඕනෑම ජගතකු මට්‌ටු කළ අරවින්ද, සනත්, සංගක්‌කාර සහ මහේල වැනි පිතිකරුවෝ බිහිවූ දෙරණ ද

මෙයම වේ. ඉන්දියාව අපිට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ මව්බිමේදී උරුම කරදුන් දරුණුතම පරාජය උරුම කරමින් ගෙදර ගියේය. නමුත් 1997 දී අපි ඉන්දියානුවන්ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හති වැටෙනකන් ටෙස්‌ට්‌ තරගයකදී තලා දැමුවේය. ඒ ටෙස්‌ට්‌ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව (952/6) වාර්තා කරමිනි. අදටත් එය ලෝක වාර්තාවකි.

එවැනි ඉතිහාසයක්‌ තිබූ ශ්‍රී ලංකාව පසුගියදා ඉන්දියාව සමඟ අවසන් වූ ටෙස්‌ට්‌ තරග ත්‍රිත්වයේදීම කඩුලු 60 ක්‌ දැවී ලබා ඇත්තේ ලකුණු 1421 කි. එහිදී ඉන්දියානුවන් ටෙස්‌ට්‌ තරග තුනේදීම ඉනිම හතරක්‌ පමණ ක්‍රීඩා කරමින් ලකුණු 1949 ක්‌ ලබා ගනිද්දී බිඳ වැටුණේ කඩුලු 32 ක්‌ පමණි. එපමණක්‌ ද නොව එක්‌දින තරග පහේදීම ශ්‍රී ලංකාවට ලකුණු 250 සීමාව පන්නා යැමට නොහැකි විය. ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග රටා තුනේදීම ශ්‍රී ලංකාව සිය මව්බිමේදී අවසන් වරට තරග වැදුන අවස්‌ථා 20 කදී 14 වතාවක්‌ම පරාජය වී තිබේ. ඒ පරාජයන් බංග්ලාදේශයට ටෙස්‌ට්‌ තරගයක්‌ සහ එක්‌දින තරග දෙකක්‌, සිම්බාබ්වේට එක්‌දින තරග තුනක්‌, ඉන්දියාවට ටෙස්‌ට්‌ තරග තුනක්‌, එක්‌දින තරග පහක්‌ සහ විස්‌සයි විස්‌ස තරගයක්‌ ලෙසින් සටහන් වේ.

මේ පරාජයන් සමඟ ගොඩනැඟී ඇති විහිළු කතා වන්නේ, 'ඕනෑම කණ්‌ඩායමකට නැඟීම් සහ වැටීම් තියෙනවා. අපි නවක කණ්‌ඩායමක්‌. තවත් අවුරුදු දෙකක්‌ යන කොට කණ්‌ඩායම හොඳ තැනක සිටීවී' යන වදන්ය. මේවා බෝඩ් ලෑලිවල ලියා ගනිමින් ක්‍රිකට්‌වලට වගකිව යුතු සියලු පාර්ශ්ව පැය 24 ම සිටියත් මෙරට ක්‍රිකට්‌ මේ දුවන දිවිල්ලට ගියහොත් තවත් වැඩි කල් නොගොස්‌ම 'නට්‌ටන්' වනු ඇත. එවිට ටෙස්‌ට්‌ වරම් අහිමි වන්නට පුළුවන. එපමණක්‌ ද නොව ලෝක කුසලාන වරම ලබන්නට වන්නේ ද සුදුසුකම් ලැබීමේ වටයකිනි. දැනටත් ඒ අවදානම තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරදින්නට හේතුව අවසන් වශයෙන් මෙසේ යළිත් සටහන් කර සිටිමු, 'මෙරටට ශක්‌තිමත් පළාත් තරගාවලියක්‌ අවශ්‍යව තිබේ. ප්‍රිමියර් කණ්‌ඩායම් 24 මෙරට ක්‍රිකට්‌ වලට දක්‍ෂයන් සොයා ගැනීමට නොහැකි තරගාවලියක්‌ බවට පත්ව තිබේ. එපමණක්‌ ද නොව. මහේල, සංගක්‌කාර සහ ඩිල්ෂාන් තුන් කට්‌ටුව වෙනුවට ඒ තැනට ආදේශ කරමින් සිටි මැතිව්ස්‌, චන්දිමාල් සහ තිරිමාන්න තුන් කට්‌ටුවගේ මනස විකෘති කරමින් ඔවුන්ව අමාරුවේ දැමීම ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරාජයන්ට තවත් අතුරු පහරකි.

සංගක්‌කාර සහ මහේලලා යුගයේදී කණ්‌ඩායමේ ස්‌ථානය දිනාගත් තිරිමාන්නට සහ චන්දිමාල්ට දැන් කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ නොමැත. චන්දිමාල්ට ටෙස්‌ට්‌ ලේබලය ගසා එක්‌දින තරගවලින් ඔහුව ඉවත් කළේය. තිරිමාන්නට මාස 19 ක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පෙන්නුවේ නැත. නායකත්වයට පදම් කළ මැතිව්ස්‌ට ඔටුන්න එපා කළේය. නමුත් මැතිව්ස්‌ගේ නායකත්වය යටතේ තිරිමාන්න සහ චන්දිමාල් එක දිගට ක්‍රීඩා කළේ නම් අද ඔවුන් රට දිනවන වික්‍රමයක්‌ කරනු ඇත. එවිට කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්‌වැල්ල, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා සහ උපුල් තරංගලා අතර කණ්‌ඩායමේ ස්‌ථානය ගැනීමට තරගයක්‌ නිර්මාණය වනු ඇත. ඉන්දියානුවන් අද ශ්‍රී ලංකාව තලා දැම්මේ ද කෝලි, රහනේ, ධවාන් සහ රෝහිත් ෂර්මා යන ක්‍රීඩකයන්ට නොකඩවා ස්‌ථානය දෙමින් ඔවුන්ගේ මනස දිනන තැනට ගෙන ඒමෙනි. නමුත් අපේ ක්‍රිකට්‌ රැකගත යුතු සම්පත්වල මොළ විකෘති කරමින් ඉල්ලන් කා ඇත. දැන් ක්‍රිකට්‌ තේරීම් කමිටුව ද ගෙදර ගොස්‌ය. නමුත් ක්‍රිකට්‌ ගොඩගන්නට මහා ලොකු සැලැස්‌මක්‌ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සියුම් තැන් ගැන සොයා බැලුවහොත් ගොඩ යා හැකි බව ද මතක්‌ කර සිටිමු.

අසේල විතාන (Divaina)

No comments:

Post a Comment

Post Bottom Ad