"ණය ගත්තු හැටි ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න" - නිරෝශන් ප්‍රේමරත්නගෙන් අභියෝගයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, February 14, 2019

"ණය ගත්තු හැටි ගැන ප්‍රසිද්ධ විවාදයකට එන්න" - නිරෝශන් ප්‍රේමරත්නගෙන් අභියෝගයක්

තමන් ව්‍යාපාර කටයුතු සඳහා මාකඳුරේ මධුෂ්ගෙන් මුදල් ලබාගත් බවට අවලාද නඟන අයට හැකිනම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝශන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි.

ඒ මහතා අවධාරණය කළේ තමන්ට එරෙහි චෝදනා නඟන්නන් රටේ වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා ඉහළට ගන්නා, සත්‍ය වෙනුවට බොරුව සමාජගත කරන අය බවයි.

මේ වනවිට බොහෝ සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් පිරිස් තමන්ට මඩ ගසන බවත් ඒ, තමන් විසින් තලවකුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔවුන් පවසන පළමු බොරුව වන්නේ තමන් තලවතුගොඩින් ඉඩමක් මිලට ගෙන ව්‍යාපාරය ආරම්භ කළේය යන්න බවත් දෙවැන්න එහි වටිනාකම කෝටි 08ක් යන්න බවත් තෙවැන්න එම කෝටි 08 මාකඳුරේ මධුෂ්ගේ මුදල් යන්න බවත් ඒ මහතා සඳහන් කළේය.

තමන් ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා කුඩුකාරයින්ගෙන් හෝ පාතාලයින්ගෙන් සත පහක් රැගෙන නොමැති බව පැවසූ ඒ මහතා ගොඩනැඟිල්ල ගත්තේ ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුගෙන් කුලියට බවත් 2017 සැප්තැම්බර් මාසයේ එය කුලියට ගත්තත් මුදල් නොමැතිකම නිසා 2018 මාර්තු තෙක් ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකි වූ බවත් පැවසීය.

තමන් ලංකා බැංකුව සමඟ සාකච්ඡා කර කෝටි 03ක ණය මුදලක් අයදුම් කළ බවත් ඊට ඇපයට තැබීම සඳහා තලවතුගොඩ සිටින සංගීත් නම් තම මිතුරා ඔහුට අයත් ඉඩමක් ලබාදුන් බවත් 2018 ජනවාරි මාසයේදී එම ණය මුදල ලබාගෙන 2018 මාර්තු මාසයේදී ව්‍යාපාරය ආරම්භ කළ බවත් නිරෝශන් ප්‍රේමරත්න මහතා සිහිපත් කළේය.

ඒ අනුව කිසිවකු පාළු ගෙවල්වල වළං බිඳින්නට වුවමනාවක් නොමැති බව පැවසූ ඒ මහතා ලංකා බැංකුවේ පාර්ලිමේන්තු ශාඛාවෙන් අදාළ විස්තර ඕනෑම කෙනෙකුට ලබාගත හැකි බව ද ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad