පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්

පළාත් සභා මැතිවරණය ගැන අද අවසන් තීරණයක්

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

එම යෝජනාව සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පසුගියදා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබුණේ පළාත් සභා 9 ම මැතිවරණය එකම දිනක පැවැත්වීමටය.

ඒ අනුව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයේ පළාත් සභා මැතිවරණය පැරණි අනුපාත ක්‍රමයට පැවැත්විය යුතු බවට යෝජනාවක් ද සිදුකර තිබු බව සඳහන්ය.

සබරගමුව, උතුරු මැද හා නැගෙනහිර යන පළාත් සභා තුනේ නිල කාලය 2017 වසරේදී අවසන් වූ අතර එම පළාත් සභා තුන මේ වන විට ආණ්ඩුකාර පාලනයකට යටත්ව තිබේ.

එමෙන්ම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත්සභා තුනෙහි කාලය අවසන් වුණි.

දකුණ සහ බස්නාහිර පළාත් සභාවල ධුර කාලය අප්‍රේල් මාසයේ දී අවසන් වීමට නියමිත අතර එළඹෙන ඔක්තෝබර් මාසයේදී ඌව පළාත් සභාවේ නිල කාලය අවසන් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad