මහාධිකරණ තීන්දුවලට එරෙහි ගාමිණී සෙනරත්ගේ අභියාචනය ඉල්ලා අස්කර ගනී - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 4, 2019

මහාධිකරණ තීන්දුවලට එරෙහි ගාමිණී සෙනරත්ගේ අභියාචනය ඉල්ලා අස්කර ගනී

මහාධිකරණ තීන්දුවලට එරෙහි ගාමිණී සෙනරත්ගේ අභියාචනය ඉල්ලා අස්කර ගනී

කොළඹ ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණය ලබාදුන් තීන්දු දෙකකට එරෙහිව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ අභියාචනය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

අභියාචනා පෙත්සම් බුවනෙක අළුවිහාරේ ,සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල් .ටී.බී. දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය  වෙනුවෙන් පෙනී සිටි අලි සබ්රි සහ ගාමිණී මාරපන යන ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ අධිකරණ බලය සම්බන්ධයෙන් නැවත අභියාචනයක් ඉදිරිපත් කිරිමට තිබෙන අයිතිය රඳවා ගනිමින් මෙම අභියාචනා පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද ජනාධිපති නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීම පිළිගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ අභියාචනා ඉල්ලා අස්කර ගැනීමට අවසර දි ඇත.

ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලිය 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට සහ වෙනත් නීතිමය කාරණා කීපයක් සම්බන්ධයෙන්  විත්තිකාර ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්ති පාර්ශවය  විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් කොළඹ විශේෂ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දු 2 කට එරෙහිව ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් මෙම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad