කොටින්ගෙන් ගේම ඉල්ලා මැලේසියාවේදී ගහමරාගෙන හිරගෙයත් හෙල්ලූ හොරණ සනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 7, 2019

කොටින්ගෙන් ගේම ඉල්ලා මැලේසියාවේදී ගහමරාගෙන හිරගෙයත් හෙල්ලූ හොරණ සනා

Loading...
- අවුරුදු දොළහක් වීසා නැතිව මැලේසියාවේ ජීවත් වුණා, තවත් රටවල් කිහිපයකට ගියා...
- සිංගප්පූරුවේදී අප‍්‍රිකන්කාරයකුට ගහලා පොලිසියට කොටු වෙලා, අන්තිමේ මැලේසියාවේ 
  අධිකරණයෙන් අවුරුදු දෙකහමාරකට අච්චු කළා...
‘සනා මැලේසියාවේ නම ගිය පොරකි. විවිධ රැකියාවන් කරමින් වීසා නැතිව අවුරුදු ගණනාවක් මැලේසියාවේ ජීවත් වූ හොරණ කොල්ලෙකි. මැලේසියා ජාතිකයකුගේ ගමන් බලපත‍්‍රයකින් ලෝකෙ වටේ සවාරි ගිය මේ තරුණයාට වැඩි වයසක් ද නැත. අවුරුදු තිස්හතරකි. එහෙත් ඔහු එම වයසට කළ, නොකළ බොහෝ දේ කර ඇත. අවසානයේ සිංගප්පූරුවේදී ආරවුලකට පැටලී එරට පොලිසියට කොටු වී දෙරටේම සිරබත් කා වසර තුනකට පසු මැලේසියා සිරිගෙදරකින් නිදහස් කර මෙරටට පිටුවහල් කර ඇත. දැන් ඔහු සිටින්නේ පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේය. ඒ මතින් නිදහස්වීමට නොව, ඔහුගේ සිතට නැෙඟන අසාමාන්‍ය කෝපය පාලනය කරගැනීමට මනස දියුණු කරගැනීමටය. පසුගිය දිනක මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේදී අපට හමු වූ සනා ජීවිත කතාවම අපට කීවේය. පෙළගැසෙන කතාවට අනුව ඔහු ඇති වෙන්න මුදල් හම්බ කර නොසෑහෙන්න දුක්විඳි තරුණයෙකි. මැලේසියාවේ ඔහු ගත කළ රහසිගත ජීවිතය, මැලේසියා සිරගෙදරකදී විදින්නට වූ දුක්ගැහැට, එරට සිටි කොටි හිතවාදීන් සිංහල තරුණයන් ඝාතනය කර මිනී අතුරුදන් කළ හැටි සහ මැලේසියාවට යන මෙරට ගෑනු කෙළින පිස්සු ගැන හරි අපූරු කතා පෙළක් ඔහු අපට කීවේය. දැන් අපි ඒ කතාව සනාගේ වචනයෙන්ම ඔබට කියන්නෙමු. මේ එම කතාවේ ඉතිරි කොටසය...

 ‘‘අසරණ කෙල්ලො අනාථ කරන්න හදනකොට පහර දුන්න පූජකයා මට නොසෑහෙන්න වද දුන්නා. මැලේසියාවේ ඉන්න එල්.ටී.ටි.ඊ.කාරයො දාල කිහිප සැරයක්ම මාව මරන්න හැදුවා. මම වැඩ කරපු කොම්පැණියේ බොස්ගේ දැන හැඳුනුම්කම් නිසාම තමයි, අදටත් මම බේරිලා ඉන්නෙ. අන්තිමේ ඒ පූජකයාට එහේ ඉන්න බැරි වෙන විදිහට අපි වැඩ කළා. ඒත් එල්.ටී.ටී.ඊ. කාරයන්ගෙන් බේරිලා ඉන්න එක ලේසි වුණේ නෑ. උන් සිංහල නම කියනවටත් තරහයි. උන් සෙට් එකකට රෑකට සිංහල කොල්ලෙක් සෙට් වුණොත් ගහල මරල දානවා. එහෙම සිද්ධි ගණනාවක් තියෙනවා. මම කොණ්ඩෙ වවලා කරාබු දාලා හිටිය නිසා දකින ඕන කෙනෙක් හිතුවේ ඉන්දියන්කාරයෙක් කියලා. ඒත් මගේ කාමරය කිට්ටුවම ජිම් එකක් කරන එල්.ටී.ටී.ඊ. හිතවාදියකුට මම සිංහල කියලා පූජකයා පාවලා දීලා තිබුණා...’’

 මිනිහා යූ.එන්. කාඞ් එකකින් ඉන්න එල්.ටී.ටී.ඊ.කාරයෙක් කියලා කල්තියා මම හඳුනගෙන හිටියා. ඒ නිසා වැඩිය කතාබහට ගියේ නෑ. දවසක් රෑක වැඩ ඇරිලා එනකොට බයිසිකලය නතර කරලා උඹ ලංකාවේ නේද කියලා ඇහුවා...

 ‘ඔව් මම ලංකාවේ, ඇයි මොකද...’ කියලා දෙමළ භාෂාවෙන්ම මමත් උත්තර දුන්නා.

 ‘උඹගේ කට වැඩියි... මමත් ලංකාවේ හොඳ කොටියෙක් කියලා ටීෂර්ට් එක උස්සලා පච්චයක් පෙන්නුවා. දත් විරිත්තගෙන ඉන්න කොටියෙක් අතේ කොටලා තිබුණා. ඒත් මම බය වුණේ නෑ. මමත් හොඳ සිංහලයෙක් කියලා ටීෂර්ට් එක උස්සලා පපුවේ කොටලා තිබුණ ධර්ම චක‍්‍රය පෙන්නුවා...

 ‘ආ... ඇත්තද... මට ඕන වෙලා තිබුණේ උඹ කවුද කියලා හරියටම අඳුරගන්න... අපි බලාගමු...’ කියලා මගේ පිටට තට්ටුවක් දැම්මා.

 ‘මමත් ඕන දේකට ලෑස්ති...’ කියලා බයික් එකත් ස්ටාර්ට් කරගෙන කාමරයට ගිහින් කෝකටත් කියලා බොසාට කෝල් එකක් අරගෙන සිද්ධිය කිව්වා. දවස් දෙකකට පස්සෙ රෑ වැඩ ඇරිලා එනකොට වෑන් දෙකක් ඇවිත් පාර හරස් කරලා ඔලූවට පිස්තෝලයක් තියලා බයික් එක පැත්තකට විසි කරලා මාව ඇදලා වෑන් එකකට දාගත්තා. ඇස් ගැට ගහලා ගෙනිහින් කළුවර කාමරයකට දැම්මා. වතුර පොදක්වත් දෙන්නෙ නැතිව දවසක් කාමරයේ තියලා පහුවදා රෑ මට පාට් එක දාපු ජිම් අයිතිකාරයා ආවා...

 ‘ආ... සිංහලයා... උඹ කිව්වේ කොටි නරි කරනවා කියලා... දැන් කරලා බලපං කියලා මගේ පපුවට පයින් පාරක් ගැහුවා. හාමතේ හිටිය මාව ගිහින් බිත්තියේ වැදුණා. ආයෙමත් ඇඳලා අරගෙන කනහරහා පාරවල් දෙකක් ගැහුවා. තව එකෙක් ඇවිත් දඩ, බඩ ගාලා අතින්, පයින් ගහගෙන, ගහගෙන ගියා. තුන්දෙනෙක් එක පොදියට ගැහුවා. ටික වේලාවක් යනකොට සිහිය නැති වුණා. සිහිය එනකොට පාර අයිනක වැටිලා හිටියා. ඊට පස්සෙ මාව අඳුරන කෙනෙක් බොස්ට කියලා තිබුණා. ඒ මොහොතේම බොස් ඇවිත් මාව අරගෙන ගියා. මට ගහපු තුන්දෙනා දවස් තුනක්වත් හිටියේ නෑ. අදටත් වෙච්ච දෙයක් නෑ... 

 ‘‘මගේ බොස් දෙමළ වුණාට සාධාරණ මනුස්සයා. ඒ වගේම හොඳට හොඳයි. නරකට නරකයි. මැලේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. එල්.ටී.ටී.ඊ.යට තදින්ම විරුද්ධයි. බොස්ගෙ හයිය නිසා ඊට පස්සෙ මට එල්.ටී.ටී.ඊ. කරදර ආවේ නෑ. ඒත් මැලේසියාවේ හිටපු ලංකාවේ දෙමළ අයගෙන් බාගෙට, බාගයක් එල්.ටී.ටී.ඊ. උන් කරන්නේ සල්ලි එකතු කරලා එල්.ටී.ටී.ඊ. එකට දාපු එක. මම ඒවා දැනගෙන පාඩුවේ ජීවත් වුණා. රට, රටවල සවාරි ගිහින් ෆුල් ෆන් එකේ හිටියා. එහෙම ඉන්නකොට තමයි සිංගප්පූරුවේදී කාපිරියෙක් එක්ක ගහගෙන සිංගප්පූරු පොලිසියට කොටු වුණේ. චෙක් කරනකොට මගේ පාස්පෝට් එක හොර එකක් කියලා දැනගත්තා. වැඬේ ලෙඬේම වුණා. සල්ලි දීලා බේරෙන්න හැදුවා. හරි ගියේ නෑ. හිරේ දාලා මාස තුනක් තියාගෙන මැලේසියාවේ පොලිසියට භාර දුන්නා...’’

 ‘‘මැලේසියා පොලිසිය මගේ පාස්පෝට් චෙක් කරලා ආගිය, මුල ගිය තැන් සියල්ලම හෙව්වා. මගේ පාස්පෝට් එකෙ අයිතිකාරයා කුඩුවලට තුන් වතාවක් හිරේ ගිය කෙනෙක් කියලා හොයාගත්තා. මමත් ඒ පාස්පෝට් එකෙන් රටවල් කිහිපයකට ගිහින් කියලත් හොයාගත්තා. පරීක්‍ෂණ කරපු නිලධාරීන්ට හොඳටම කේන්ති ගියා. සියලූ වැරැදි ගොනු කරලා උසාවි දැම්මා...’’

 ‘‘උසාවිය මගෙන් ඇහුවා වැරැදිකරු ද... නිවැරැදිකරු ද කියලා. මම වැරැද්ද භාරගත්තා. බරපතල වැඩ සහිත අවුරුදු දෙකහමාරයි, කස පාරයි, හිරේට දැම්මා. මැලේසියාවේ තියෙන ජරාම හිරගෙයක්. මත්ද්‍රව්‍ය වැහි වැහැලා. උසාවියෙන් නියෝග කරපු කස පාරට අමතරව හිර කූඩුවට දානකොට රැවුල, කොණ්ඩය කපලා කස පාරවල් දහයක් ගැහුවා. බිම නිදි කරලා කස පහර දහය ගැහුවට පස්සෙ නැඟිටින්න පණ නෑ. හිරගෙදර ජේලර් තමයි කස පාර ගහන්නෙ. ඒ කස පාර ගහන්නෙ රූම් එකට ගන්න ගාස්තුවක් විදිහට...’’

 ‘‘මුලින්ම මාව දාපු හිර කූඩුවේ පස්දෙනෙක් හිටියා. අතපය දිග ඇරලා නිදාගන්නවත් කූඩුව ඉඩ මදි. වැසිකිළි යන්නයි, මුත‍්‍රා කරන්නයි පස්දෙනාටම තිබුණේ එකම ටින් එකයි. අන්තිමට වැසිකිලි යන කෙනා ඒ ටින් එක ගෙනිහින් වළට දාන්න ඕනෑ. අලූතින් කූඩුවට ගිය කෙනා ෆනිෂ්මන්ට් එකක් විදිහට ටොයිලට් භාජනය ගෙනිහින් වළට දාන්න ඕනෑ. පළමු දවසෙ මම වැසිකිළි ටින් එක උස්සගෙන ගිහින් වළට දානකොට මට හුස්ම ගන්න බැරි වුණා. වමනෙ දාගෙන වැටුණා. මොන ජගතෙකුටවත් ඒ ගඳ නම් ඉවසන්න බෑ. මුළු හිරගෙදරම වැසිකිළි ජරාව ගෙනත් දාන්නෙ ඒ වළට. කිසිම ආවරණයක් නෑ. සම්පූර්ණයෙන්ම වළ විවෘතයි. වමනය දානවා ජේලර්ලා දැක්ක ගමන් හිර ගේ වටේ වට පනහක් දුවවලා කස පහරවල් විස්සක් ගහලා කාමරයට දානවා. වැසිකිළි භාජනය අරගෙන යනකොට චුට්ටක්වත් බිමට වැටුණොත් වැටිච්ච ටික අතින් ගන්න ඕනෑ...’’

 ‘‘දවස් හතරක් එක දිගට වැසිකිළි ජරාව ඇද්දා. ඒ දවස් හතරේම වමනය දාලා වටේ දුවලා කස පහරවලූත් කෑවා. පස්සෙ එන විදිහට මූණ දෙනවා කියලා හිතාගෙන කූඩුවේ ඉන්න උන්ට සත්තම දාලා ගේම ඉල්ලූවා. බංගලිකාරයෝ හතරදෙනෙක් හිටියේ. මම මැලේ භාෂාවෙන් අම්මා මතක් කරලා රෑට තොපිව මරනවා කියලා කෑගැහුවම උන් බය වුණා. ඊට පස්සෙ මම වැසිකිළි භාජනය උස්සගෙන ගියේ නෑ. එදා ඉඳලා කූඩුව ඇතුළේ ලොක්කා මමයි...’’

 මට හොඳට විසිට් එනවා. බංගලියො කිසිම කෙනෙකුට විසිට් එකක් වැටුණේ නෑ. මට එන කෑම පස්දෙනාම බෙදාගෙන කෑවා. ඒකෙන් බංගලියො තවත් මට බය වුණා. කියන සුනංගුවට අත, පය මසාජ් කෙරුවා. මට අත පය දිගහැරලා නිදාගන්න ඉඩ පහසුකම් දීලා බංගලියො හතරදෙනා ගුලි වෙලා නිදාගත්තා. මම තමයි උදේ පාන්දරට මුලින්ම වැසිකිළි ගියෙත්. උදේ හතට කූඩුවෙන් එළියට දාලා වැසිකිළි ගිහින්, නාලා, කාලා අට වෙනකොට කූඩුවට දානවා. නැවත ගන්නේ දවල් දොළහට. කෑමට. පොඩි බත් පීරිසියක් දෙන්නෙ. කටවල් දෙකට කෑම එක ඉවරයි. ඊට පස්සෙ විසිට් එකට ගේන බිස්කට්, ඇපල් ගෙඩියක් කාලා තමයි බඩගින්න නිවා ගත්තේ.

 ‘‘දවස ගානෙ නාන්න පුළුවන්. ඒත් පුංචි ටින් එකකින් දහයයි. සබන් ගාන්න පෙර පහයි. සබන් ගාලා පහයි. ඇෙඟ් කුණු ගල් වෙනවා මිසක් හේදෙන්න වතුර මදි. වැඩියෙන් නෑවොත් පිටි පස්සෙ ඉන්න ජේලර් පාටාස් ගාලා ගහනවා. පොලූ පාර කොහේට වදිනවද කියලා දන්නෙ නෑ. මාස තුනකට පස්සෙ වැඩට දැම්මා. මම වැටුණේ කුස්සි පාටියට. එතකොට ඕන තරම් නාන්න පුළුවන්. මළපහ කරන්න වැසිකිළි තියෙනවා. භාෂාවත් තේරෙන නිසා කුස්සි පාටිය අල්ලලා ගියා. භාෂාව නොදැන සිංහල කියලා දැනගත්තොත් ඇතුළේ ඉන්න එල්.ටී.ටී.ඊ.කාරයො දස වද දෙනවා. ඒ නිසා ජාතිය සිංහල, ආගම හින්දු කියලා තමයි මම කිව්වේ...’’

 දවසක් කුස්සි පාටියේ ඉන්නකොට දෙමළ කොල්ලෙක් ඇවිත් උඹ කොහේද කියලා මගෙන් ඇහුවා.

 ‘මම ලංකාවේ හොරණ කියලා ගේමට උත්තර දුන්නා. ඊට පස්සෙ ඇහුවා ආගම මොකක්ද... කියලා.

 ‘හින්දු‘

 ‘උඹ ප‍්‍රභාකරන් ගැන මොනවද හිතන්නෙ...’

 ‘මට ප‍්‍රභාකරන්ගෙන් ලැබුණු දෙයකුත් නෑ. මම ප‍්‍රභාකරන්ට දෙන දේකූත් නෑ. දෙපැත්තෙම අහිංසක මිනිස්සු මැරෙනවා. මට ඒවා අදාළ නෑ...’ කියලා මම කිව්වා. ඊට පස්සෙ පිට පිරෙන්න ගහලා තියෙන කොටි පච්චය මට පෙන්නුවා. මම නෝන්ඩියට හිනා වුණා...

 මමත් බය නැතිව එකට, එක කිව්වේ මැලේ පාතාලේ සුපිරි වැඩකාරයෝ පස්දෙනෙක් හිරේදි මට සෙට් වෙලා හිටියේ. ඒ සෙට් එකට තියෙන බය නිසා පස්සෙ එල්.ටී.ටී.ඊ.කාරයො මට සෙට් වුණා. ඒ සෙට් එකේ පස්දෙනෙක් හිටියා. ඒ සේරම යූ.එන් කාඞ්වලින් හිටියේ. පොඩි කේස් එකක් ෆයිල් වෙලා ඇතුළට ඇවිත් තියෙන්නෙ. එතකොටත් උන් සෙට් එක සතියට ලක්‍ෂ පහක් එල්.ටී.ටී.ඊ.යට දැම්මා.

 මම හිරේ හිටිද්දී ලංකාවේ සිංහල කොල්ලො හයදෙනෙක් ඇතුළට ආවා. දවසක් එකෙක්ව තට්ටු තුනක බිල්ඩින් එකකින් තල්ලූ කරලා තිබුණා. පස්සෙ කිව්වේ ඒ කොල්ලා පැනලා කියලා. නෑ එල්.ටී.ටී.ඊ.කාරයො තල්ලූ කරලා. ඇසින් දුටු අය ඉන්නවා. තව කොල්ලෙක්ව නාන තැන මරලා දාලා තිබුණා. ඒකත් දැකපු උන් ඉන්නවා. එක පාරයිලූ ගැහුවේ බිත්තියේ ගිහින් වැදිලා මැරිලමයි වැටිලා තියෙන්නෙ. ඒ මිනීවළට වෙච්ච දෙයක්වත් නෑ. ඊට පස්සෙ ඒ හිරගෙදර හිටිය ලංකාවේ කොල්ලන්ට කතා කරලා එකට හිටපල්ලා ගහන්න ආවොත් මරාපල්ලා කියලා මම කිව්වා. මම හිටපු හිරගෙදර ලංකාවේ කොල්ලො දහයක් විතර හිටියා. ඒ සේරම වීසා නැතිව ඉඳලා කේස් දාගෙන ගිය අය. ඊට පස්සෙ එල්.ටී.ටී.ඊ.කාරයන්ටත් කතා කරලා තිරිසන් වැඩ කරන්න එපා කියලා බැන්නා. පුළුවන්නම් මට කරපල්ලා කියලා සත්තමකුත් දැම්මා. ජේලර්ලටත් කිව්වා. මම භාෂාව දන්න, කියන දේ පිළිවෙළට කරපු නිසා ජේලර්ලා මාත් එක්ක හිතවත් වුණා. මම කිව්වට පස්සෙ එල්.ටී.ටී.ඊ.කාරයො පස්දෙනාට සුපිරි පෝරියල් එකක් දීලා වෙන හිරගෙදරකට යවලා තිබුණා...

 ‘‘උසාවිය නියෝග කරපු කස පහරත් කාලා අවුරුදු දෙකහමාරකට පස්සෙ 2017 අවුරුද්දේ මාව නිදහස් කරලා ලංකාවට පිටුවහල් කළා. පස්ස පැත්ත පැළෙන්න කස පහර ගැහුවා. තාම ලපය තියෙනවා...’’ සනා ටීෂර්ට් එක උඩට උස්සමින් පස්ස පැත්ත අපට පෙන්නුවේය. කතාව සැබෑය. කැපුම් තුවාලයක පල්ලක් වැනිය.

 ‘හිරෙන් නිදහස් කරලා මාසයක් තානාපති කාර්යාලයේ හිටියා. ඒ මාසය හිරේ ඉන්නවට වඩා දරුණුයි. මාත් එක්ක ලංකාවේ අය දොළොස්දෙනෙක් හිටියා. සේරම එක කාමරයක සීයක් විතර දාලා හිටියා. වාඩි වෙලා ඉන්න තැනින් නැඟිට්ටොත් ආයෙත් හිඳගන්න තැනක් නෑ. රෑට නිදාගත්තේ හිටගෙන. ඒකේ හිටිය හුඟදෙනෙක් කුඩු බොනවා. සමහර අය ගංජා උරනවා. හරියට පෝරණුවක් වගෙයි. මාස හය, හත අවුරුද්ද ඉන්න උන්ගේ ඇඟවල් වණ වෙලා. ඉස්ම බේරෙනවා. ඒක මිහිපිට අපායක්. මාත් එක්ක හිටිය ලංකාවේ එකළොස්දෙනාම මාස හතරකට වැඩියි. ජෝඩු දෙකක් හිටියා. කොල්ලො අපේ රූම් එකේ. කෙල්ල අල්ලපු රූම් එකේ. එතැන හිටිය ගොඩක් දෙනෙක්ට භාෂාව කතා කරන්න බෑ. නම, ගම, රට උපන් දිනය, දෙමවුපියන්ගේ විස්තර පොඩි ඇෆ්ලිකේෂන් එකක් තමයි, පුරවන්න තිබුණේ. ඒක ෆිල් කරලා ලංකාවට එවන්නෙ නැතිව මාස ගාණක් තානාපති කාර්යාලයේ තියාගෙන හිටියා. පස්සෙ මම කතා කරලා තානාපති කාර්යාලයෙන් ගෙන්න ගත්ත. තානාපති කාර්යාලයේ නිලධාරිනියකගේ ෆෝන් එකකින් එස්එම්එස් එකක් යවා ගන්න මගෙන් රුපියල් පනස්දාහක් ගත්තා. කොහොමහරි සේරටම ටිකට් හදාගත්තා. මාස ගාණක් කට්ට කාපු අය මට බුදු බව ප‍්‍රාර්ථනා කළා. එයාර්පෝට් එකට ඇවිත් දොළොස්දෙනාටම කන්න බොන්න අරගෙන දුන්නා. අන්තිමේ ලංකාවේ එයාර්පෝට් එකෙන් බැහැලා සිංහල අය යනවා කියලවත් ගියේ නෑ. අපේ ගෙදරින් එනකම් මාත් එක්ක හිටියේ දෙමළ කොල්ලො පස්දෙනා විතරයි. ඒ සිද්ධියෙන් පස්සෙ සිංහල ජාතියම මට එපා වුණා...’’

 ‘‘මම ලංකාවට එනකොට අම්මලා හිතාගෙන ඉඳලා තියෙන්නෙ එහේදි මැරිලා කියලා. මාව දැක්කට පස්සෙ අම්මට පුදුම සතුටක් ඇති වුණේ. ඒත් තාත්තාගේ මරණය නොකිව්ව තරහාට මම අම්මා එක්ක කතා කළේ නෑ. මහගෙදර නතර වුණෙත් නෑ. කෙළින්ම ගියේ මගේ ගෙදරට. එතකොට මම ගෙයක් හදලා තිබුණේ. මොකක්හරි බිස්නස් එකක් කරගෙන පාඩුවේ ජීවත් වෙනවා කියලා හිතාගෙන හිටියා. ඒත් හිතට එන කේන්තිය නිසා මොනවත් කරන්න බැරි වුණා. ඊට පස්සෙ තමයි පොඩි අක්කා මේ පන්සල හොයාගෙන මාවත් එක්කරගෙන ආවේ. දැන් මාස තුනකට වැඩියි. මෙතැනට ආපු දවසේ ඉඳලා බණ, භාවනා කරගෙන හොඳින් ජීවත් වෙනවා. දැන් නම් මගේ හිතට ලොකු සැහැල්ලූවක් දැනෙනවා. ඒ වගේම හිතට නැෙඟන කෝපය ගොඩක් දුරට පාලනය වෙලා තියෙනවා. තව මාස තුන හතරක් මෙතැන ඉඳගෙන වතාවත්වල යෙදෙනකොට සිත සම්පූර්ණයෙන්ම සන්සුන් වෙයි කියලා මම හිතනවා. ඊට පස්සෙ ගෙදර ගිහින් ව්‍යාපාරයක් පටන්ගෙන ෂේප් එකේ ජීවත් වෙනවා...’’ 

 සනාගේ කතාවේ සහ පෙනුමේ කෝපයක සේයාවක් හෝ නැත. සිනා මුසු මුහුණින්, පි‍්‍රය වචනයෙන් බොහෝ වේලාවක් ඔහු මා සමඟ කතාබහ කළේය. පෙළගැසෙන කතාවට අනුව ඔහු ධෛර්යවන්ත තරුණයෙකි. එමෙන්ම බුද්ධියෙන් ජීවත් වන තරුණයෙකි. ඔහුගේ ජීවිතයට අවාසනාව තුරුලූ කර ඇත්තේ ඉක්මන් කෝපයයි. සිත පාලනය කරගත් දිනක ඔහු සමාජයට වැඩදායි තරුණයෙකි.

 තරංග රත්නවීර
දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad