ආරක්‍ෂාව සමග නිල් මැණික් පොකුරට විශේෂ ගුවන් යානයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 28, 2021

ආරක්‍ෂාව සමග නිල් මැණික් පොකුරට විශේෂ ගුවන් යානයක් !

පැල්මඩුල්ල ප‍්‍රදේශයෙන් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර (සෙරන්ඩිප් නිල් මැණික් පොකුර) විදේශයක වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට විශේෂ ගුවන් යානයක්,  ආරක්‍ෂාව සහ පූර්ණ රාජ්‍ය මැදිහත්වීම ලබාදිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වෙත ප‍්‍රකාශ කර ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ඊයේ (28 දා) පැවසීය.

මේ අතර මෙම මැණික් ගල ලබන නොවැම්බර් මාසයේ දී චීනයේ පැවැත්වීමට නියමිත මැණික් වෙන්දේසියේ දී විකිණීමට අපේක්‍ෂා කරන බව මැණික් හා ස්වර්ණාභරණ ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා ප‍්‍රකාශ කළේය.

මැණික් ගලෙහි අයිතිකරුගේ කැමැත්ත මත මෙලෙස විදේශ වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට නියමිත අතර මැණික් ගලේ වටිනාකම කොතෙක් ද යන්න පිළිබඳව ගණනය කිරීමට මේ වන විට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු ආරම්භ කර තිබේ.

අධික වටිනාකමකින් යුතු මෙම මැණික් ගල රත්නපුර සිට කොළඹට රැගෙන ඒම පිළිබඳව ද මේ වන විට ජනාධිපතිවරයා අවධානය දක්වා ඇති අතර ඊට අවශ්‍ය සියලූම පහසුකම් සැපයීමට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.

මේ අතර මැණික් ගල සම්බන්ධයෙන් විදෙස් වෙළෙඳ ප‍්‍රචාරක කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය. නිව්යෝක් ටයිම්ස් ස`ගරාව මගින් ද මීට අදාළ ප‍්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති අතර මෙම සති අන්තයේ පළවන විදෙස් සඟරාවන්හි ඒ සඳහා පුළුල් ප‍්‍රචාරයක් ලබා දෙන බව ද හෙතෙම කීය.

මැණික් ගලෙහි විස්තර ලබා ගැනීම සඳහා ඊයේ දිනයේදී ද ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් දෙදෙනකු රත්නපුර බලා යවා ඇති අතර එහි සභාපතිවරයා අද මැණික් ගල නිරීක්ෂණය සඳහා පිටත්ව යෑමට නියමිතය.

– අකිත පෙරේරා සහ ප‍්‍රභාත් විතාන
දිවයින


No comments:

Post a Comment

Post Bottom Ad