සුළු වෙනස්කම් වැඩක් නෑ. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරන්න - ෆෙරියල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 24, 2019

සුළු වෙනස්කම් වැඩක් නෑ. මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරන්න - ෆෙරියල්

රජය විසින් මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට මේ වනවිට යෝජනා කර ඇති සංශෝධන ප්‍රමාණවත් නොවන බවත් මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටින සියලුම සංශෝධන ඇතුළත් කරමින් පනත සම්පූර්ණයෙන් සංශෝධනයට ලක්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ෆේරියල් අශ්රොෆ් මහත්මිය පවසයි.

බාලවයස්කාර දැරියන් විවාහ කරදීමට සහ විවාහයේදී හෝ දික්කසාදයේදී කාන්තාවගේ කැමැත්ත සලකා නොලැබීමට නීතිමය ආවරණය සැපයූ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කළ බවට කලක් තිස්සේ කෙරුණු ඉල්ලීම් සලකා බලමින් පසුගියදා ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණු අතර ඊට අනුමැතිය ද හිමිව තිබිණි.

එහෙත් සංශෝධනය පිළිබඳ අදහස් දක්වමින් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසුවේ විවාහ වයස අවුරුදු 18 ලෙස නම් කර ඇතත් විශෙෂ අවස්ථාවන්හිදී කාතිවරයාගේ අවසරය ඇතිව බාලවයස්කාරියන් විවාහ කරවීමට නව පනතෙන් ද අවකාශ හිමිවන බවයි. එසේම කාති උසාවිවල විනිසුරු පදවියට කාන්තාවන් පත්කිරීමට ඉල්ලීම් තිබුණත් මුස්ලිම් ආගමික සංවිධාන ඊට දැඩි විරෝධය පෑම නිසා එම සංශෝධනය ද ඉවත් කරගැනීමට සිදුවූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම තත්වය පිළිබඳ අදහස් දක්වමින් ෆේරියල් අශ්‍රොෆ් මහත්මිය පෙන්වා දුන්නේ විවාහ වයස ස්ථිරවම අවුරුදු 18 ම විය යුතු බවත් පනතට කුඩා කුඩා වෙනස්කම් සිදු නොකර මුස්ලිම් කාන්තාවන් ඉල්ලා සිටි සියලුම සංශෝධන ඇතුළත් කළ යුතු බවත්ය.

මුස්ලිම් කාන්තාවන්ට තවදුරටත් කඳුළු බරින් සිටින්නට නොහැකි බවයි ඒ මහත්මිය අවධාරණය කළේ.

ෆේරියල් අශ්‍රොෆ් මහත්මිය මේ බව පැවසුවේ පෙරේදා (23) කොළඹදී අලුත් පියාපත් සංවිධානය විසින් පැවැත්වූ සංවාදයක් අමතමිනි.

-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad