කොරෝනා අස්සේ ඇල්ලේ මහා වන විනාශයක්... කිරිදි ඔය නිමිනයේ හෝටලයක් ඉදි කිරීමට ඩෝසර් කරලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 5, 2020

කොරෝනා අස්සේ ඇල්ලේ මහා වන විනාශයක්... කිරිදි ඔය නිමිනයේ හෝටලයක් ඉදි කිරීමට ඩෝසර් කරලා !

ඇල්ල රාවණා ඇල්ල අතර නිතර අධික ලෙස නාය යෑමට ලක්වෙන 16 කණුව ප්‍රදේශයේ කිරිදි ඔය නිමිනයේ හෝටලයක් ඉදි කිරීමට යැයි කියමින් විශාල භූමි ප්‍රදේශයක් මේ දින වල ඩෝසර් කරන බව ගම්වාසීහු පවසති.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ඇල්ල වැල්ලවාය මාර් ගයේ ඇල්ල 16 කණුව ප්‍රදේශයේ දි රාවණා  කදුවැටිය නාය යෑමට ලක්වීමෙන් මාසයක් තිස්සේ පාර වසා තිබූ ප්‍රදේශයට පහළින් මෙම හෝටලය ඉදිකිරීමට භූමිය ඩෝසර් කරන බව ගම්වාසීන් කියන අතර පුංචි සිරිපාදය ද මේ භුමියට ඉහළ කදු වැටියක පිහිටා තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙසේ පැවසීය.

‘ඇල්ල රාවණා ඇල්ල අතර තිබෙන 16 කණුව ප්‍රදේශයට පහළින් වනය මැද අක්කර ගානක් මේ දවස් වල බැකෝ කරනවා. වැස්සට සේදි යන පස් කිරිදි ඔයට මුසු වීමෙන් පහළ ගොවිබිම් සියල්ල විනාශ වී යනවා. මේ විනාශය කාටවත් පේන්නේ නෑ මෙතන හෝටලයක් හදන්නයි ඉඩම බැකෝ කරන්නේ.  තාමත් නිළධාරීන් බළධාරීන් නිහඩයි. බැකෝ කිරීම දිගටම කරගෙන යනවා.’

ඇල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ.ජේ ප්‍රියංගිකා මහත්මිය මෙලෙස අදහස් පළ කර තිබේ.

“මෙතන දැඩි බෑවුම් වගේම නිතර නාය යන ප්‍රදේශයක් ව්‍යපාරික පුද්ගලයෙක් ඉදිකිරීමක් කරන්න භූමිය බැකෝ කරන බවට ගොවි ජන සේවා වගේම වෙනත් ආයතන වලින් හා මහ ජනතාවගෙන් මට පැමිණිලි ගොඩාක් ලැබුණා. සියලුම ආයතන සමඟ මම එතනට ගිහින් ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කළා. අක්කර ගාණක් බැකෝ කරලා. විශාල පරිසර හානියක් බව අපිට පෙනී ගියා.අපි වැඩ නැවැත්තුවා.ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනය පරීක්ෂණයක් කළා එතැන ඉතාම අවදානම් බවට මට වාර්තාව ලැබුණා. බැකෝ කරපු භූමිය නැවත තිබු විදියට ස්ථාවර කරන්න කියලා ඉඩම් හිමිකරුට දන්වා තිබෙනවා. ඔහු එය පිළිගත්තා අක්කර 600 සින්නක්කර ඔප්පු තිබෙන බවට ඔහු අපිට ඔප්පුවක් පෙන්නුවා මෙතන කිසිම ඉදිකිරීමක් කරන්න අපි ඉඩ දෙන්නේ නෑතැයි“ ලේකම්වරිය පැවසූවාය.

-colomboxnews

No comments:

Post a Comment

Post Bottom Ad