මාලි වලදී දිවිපිදූ රණවිරු දේහයන් අනිද්දා ලංකාවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 30, 2019

මාලි වලදී දිවිපිදූ රණවිරු දේහයන් අනිද්දා ලංකාවට

මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි කටයුතු කරමින් සිටියදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී දිවි පිදූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් දිනේෂ් ජයවික්‍රම සහ කෝප්‍රල් එස්.එම්. විජේකුමාර යන
රණවිරුවන් දෙදෙනාගේ මෘත ශරීර
ලබන 02 වැනිදා මෙරටට රැගෙන එන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා  පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානයකින් රණවිරුවන් දෙදෙනාගේ මෘත ශරීර එදින පස්වරු 3.10ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට නියමිත බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු යුද හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් එහි ඉහළ පෙළේ නිලධාරීන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතව ඇත. දිවි පිදූ රණවිරුවන් දෙදෙනාට මෙහිදී යුද හමුදා උත්තමාචාර පිරිනැමීමටද කටයුතු යොදා ඇති බව යුද හමුදාව පවසයි.

එසේම දිවි පිදූ කපිතාන් දිනේෂ් ජයවික්‍රම මහතා මේජර් නිලයටත්, කෝප්‍රල් එස්.එස්. විජේකුමාර මහතා සැරයන් තනතුරටත් උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. ඉකුත් 25 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී මෙම රණවිරුවන් දෙදෙනා දිවි පිදූ අතර තවත් යුද හමුදා සෙබළු තිදෙනක් තුවාල ලැබූහ.

-චාමර අමරසූරිය-

No comments:

Post a Comment

Post Bottom Ad