ආන්දෝලනාත්මක කෙරවලපිටිය එල්එන්ජී බලාගාර ටෙන්ඩරය චීන සමාගමට ලබා දීම සඳහා ඇමැති රවි කරුණානායක මහතා ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවේ එම ටෙන්ඩරය ලබා දෙන්නේ කුමන මිලක් යටතේ ද යන්න සඳහන්ව නැතැයි විදුලිබල අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට චීන සමාගමට අදාළ ටෙන්ඩරය පිරිනැමීමේ මෙම කැබිනට් පත‍්‍රිකාව නිසා විශාල අර්බුදයක් ඇතිවී තිබෙන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
රවි කරුණානායක ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ අදාළ කැබිනට් පත‍්‍රිකාවට ඉකුත් 12 වැනිදා ඇමැති මණ්ඩල අනුමැතියද හිමිව තිබිණි.
ඇමැතිවරයාගේ මෙම ඇමැති මණ්ඩල යෝජනාවට අනුව ජීසීඑල් වින්ඕෆෝර්ස් සහ රිනිව්ජෙන් යන සමාගම් සමූහය සමඟ ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමකට ද එළැඹීමට නියමිතව ඇත.
මේ සමගම විදුලිබල මණ්ඩලයේ උප සමාගමක් වන ලක්දනවි සමාගම සමඟ චීන සමාගමට වඩා අඩු මිලකට විදුලිය මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගත වීමට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
සාමාන්‍යයෙන් ඇමැතිවරයා අදාළ කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කිරීමේදී විදුලිය මිලදී ගැනීම සඳහා චීන සමාගම සහ විදුලිබල මණ්ඩලය අතර ඇතිකර ගන්නා ගිවිසුමේ විදුලිය මිලදී ගැනීමේ ගාස්තු පිළිබඳ තොරතුරු මෙම ටෙන්ඩරයට අදාළ ඇමැතිවරයාගේ කැබිනට් පත‍්‍රිකාවේ ඇමුණුම් අංක 10 තුළ පැහැදිලිව අන්තර්ගතකර තිබිය යුතු බවද අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.
එසේ වුවද ඇමැතිවරයා ඉදිරිපත් කළ අදාළ කැබිනට් පත‍්‍රිකාවෙන් චීන සමාගම සමග වන ගිවිසුමේ ඉතාම වැදගත් කොටස වන ගාස්තු පිළිබඳ තොරතුරු අන්තර්ගත කොටස ඇතුළත්ව නැතැයි ද වාර්තා වේ.
තත්ත්වය එසේ වුවද ලක්දනවි සමාගම සමඟ ඇතිකර ගන්නා ගිවිසුමේ ගාස්තු පිළිබඳ තොරතුරු නිවැරදිව එහි අන්තර්ගතකර ඇතැයිද ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කරයි.
ඇමැති මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම කැබිනට් පත‍්‍රිකාව සකස් කිරීමේදී චීන සමාගමට අදාළ කොටසින් ඉතාම වැදගත්වන ගාස්තු පිළිබඳ සටහන් ඉවත්ව ඇත්තේ අමාත්‍යංශ නිලධාරීන්ට සිදුවූ අතපසුවීමක් නිසාද එසේත් නොමැති නම් එකී ගාස්තු සටහන් නොකිරීමේ වෙනත් අරමුණක් ඇතිවදැයි යන්න පැහැදිළි කර නැත.
ඇමැති මණ්ඩලය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාදෙන අවස්ථාව වන විට අදාළ ටෙන්ඩරය චීනයට ලබාදීමට එරෙහිව ලක්දනවි සමාගම රිට් ආඥාවක් ඉල්ලා සිය නීතිඥයා මගින් අභියාචනා අධිකරණයේ ගොනුකළ නඩුවක් විභාග වෙමින් තිබිණි.
ඒ අනුව අදාළ නඩු විභාගය අවසන් වනතුරු මේ පිළිබඳ තීරණයක් නොගන්නා ලෙසද ලක්දනවි සමාගම සියලූම කැබිනට් ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක්ද කර තිබී ඇත.
ඒ පිළිබඳව සැලකිල්ල යොමු කළ කැබිනට් මණ්ඩලය මෙම ටෙන්ඩරය සම්බන්ධයෙන් ඇමැති රවි කරුණානායක ඉදිරිපත් කළ කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබා දුන්නද එය බලාත්මක කිරීමට පෙර නීතිපතිවරයාගෙන් අභියාචනාධිකරණ ක‍්‍රියාදාමය සහ ටෙන්ඩරය චීනයට පැවරීමට ඇති හැකියාව පිළිබඳ උපදෙස් ලබාගන්නා ලෙස දැනුම් දීමක්ද කර තිබේ.
මේ අනුව නිසි පරිදි නීතිපතිවරයා විමසිය යුතු වුවද සිදුව ඇත්තේ විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඉන්ද්‍රාණි විතානගේ මහත්මියගේ අත්සන සහිත ලිපියක් විදුලිබල මණ්ඩලය වෙත යොමුකර චීන සමාගම හා සම්බන්ධ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට කඩිනමින් මහජන උපයෝගීතා කොමිසමේ අවසරය ලබාගන්නා ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දීමයි.
මෙහිදී පැහැදිලිවම සිදුව ඇත්තේ චීන සමාගමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගත යුතු බවට වූ කැබිනට් මණ්ඩල තීරණය විදුලිබල අමාත්‍යංශය මගින් හිතාමතාම නොසලකා හැරීමක් බවද ඉහත ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙහිදී විදුලිබල මණ්ඩලය මගින් අමාත්‍යංශයට දැනුම් දී ඇත්තේ අනුමත වී තිබෙන කැබිනට් පත‍්‍රිකාව තුළ විදුලිය මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ගාස්තු පිළිබඳ තොරතුරු අන්තර්ගතව නැති බැවින් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමක් නිර්මාණය කිරීමට නොහැකි බවකි.
ඒ අනුව ඇමැති රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයේ අවසරය ගනු ලැබුවද චීන සමාගමට ලබාදීමට තීරණය කළ කෙරවලපිටිය එල්එන්ජී බලාගාර ටෙන්ඩරයට අනුව අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
Monday, February 25, 2019
කෙරවලපිටියේ LNG විදුලිබල ටෙන්ඩරය යළිත් අර්බුදයක
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment