බන්ධනාගාර අධිකාරීවරයෙක් ඝාතනයට තැතක් - බන්ධනාගාරයේම නිලධාරියෙකු ගැන පරීක්‍ෂණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 19, 2020

බන්ධනාගාර අධිකාරීවරයෙක් ඝාතනයට තැතක් - බන්ධනාගාරයේම නිලධාරියෙකු ගැන පරීක්‍ෂණ

කුරුවිට බන්ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර ජේ්‍යෂ්ඨ අධිකාරීවරයෙකු විසින් එම පරීක්‍ෂණය පවත්වන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

කුරුවිට බන්ධනාගාරයේ සේවය කළ සැරයන්වරයෙකු රැදවියෙකු මාර්ගයෙන් මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර තිබූ බවද බන්ධනාගාර අධිකාරිවරයා විසින් අදාළ සැරයන්වරයා අභ්‍යන්තර රාජකාරීවලින් ඉවත් කර එළිමහන් රාජකාරීවලට අනියුක්ත කිරීම මෙම ඝාතන සැලසුමට ප‍්‍රධාන හේතුව වී ඇතැයිද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බවට කුරුවිට පොලිසිය විසින් රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාට ද කරුණු වාර්තා කර තිබේ. 

සැකකාර සැරයන්වරයා මේ වන විට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටින හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා පාතාල ක‍්‍රියාකාරියෙකු යොදාගනිමින් මෙම ඝාතන සැලසුම මෙහෙයවා ඇති බව කුරුවිට පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.  

අදාළ සැරයන්වරයා හොරොයින් ජාවාරම්කරුවන් සහ පාතාල ක‍්‍රියාකාරීන් හා සම්බන්ධව කටයුතු කිරීමේ චෝදනාව මත පල්ලේකැලේ එළිමහන් බන්ධනාගාරයට ස්ථාන මාරු කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad