පලාත් සභා අහෝසි කරනවාට විරුද්දයි.. ඔ්න නම් ‘පලාත් සභා’ කියන නම වෙනස් කරමු.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

පලාත් සභා අහෝසි කරනවාට විරුද්දයි.. ඔ්න නම් ‘පලාත් සභා’ කියන නම වෙනස් කරමු..

පලාත් සභා අහෝසි කිරීමට හිටපු මහ ඇමතිවරයෙකු ලෙස තමන් විරුද්ධ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පලාත් සභා ක්‍රමයේ කිසියම් ගැටළු ඇත්නම් ඒවා නිවැරදි කර පලාත් සභා ක්‍රමය රට තුල පවත්වාගෙන යා යුතු බවයි.

කොග්ගල අපනයන සැකසුම් කලාපයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වූ ඇමතිවරයා උත්සව සභාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කලේය.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රටට හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය ඉන්දියාව බලහත්කාරයෙන් ඇටවූවක් බවත් උතුරු නැගෙනහිර පැවැති ප්‍රශ්නයට පිළියමක් ලෙස හඳුන්වා දුන් බවත් පිලිගත හැකි වුවද  පරිපාලන බලය බෙදීම සඳහා හඳුන්වා දුන් පලාත් සභා ක්‍රමය අහෝසි නොකල යුතුය යන්න සිය ස්ථාවරය බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය.

පලාත් සභාව සුදු අලියෙක් බවට චෝදනාව නැඟුනේ ඇතැම් කාලවල වැඩ නොකරන පුද්ගලයන් මුල් පුටුවල සිටීම නිසා බවත් වැඩ කල හැකි දක්ෂයෙකුට පලාත් සභාව හරහා රටට වැඩක් කල හැකි බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පලාත් සභාවේ වැඩිම මුදලක් පෙන්වන්නේ පඩිනඩි ගෙවීම සඳහා බවයි. පලාත් සභා ක්‍රමය අහෝසි වුවද එම නිලධාරියා රාජ්‍ය සේවයට ඇතුලත් වන නිසා එම වියදම දැරීමට රජ්‍යට සිදුවන බවද පෙන්වා දෙයි.

මේ නිසා පලාත් සභා යන වචනයට කිසිවෙකු අකමැති නම් එය සංශෝධනය කිරිමේ ගැටළුවක් නැතැත් පලාත් සභා ක්‍රමය අහෝසි කරන්නේ නම් ඊට ගැලපෙන වෙනත් විකල්පයක් හඳන්වා දියයුතු බව සිය පෞද්ගලික මතය යැයිද ඇමතිවරයා කිවේය.


– ප්‍රදීප් අනුර කුමාර


No comments:

Post a Comment

Post Bottom Ad