මෙරට කොරෝනා ශීඝ‍්‍රයෙන් පැතිරීමේ අවදානමක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 1, 2020

මෙරට කොරෝනා ශීඝ‍්‍රයෙන් පැතිරීමේ අවදානමක්.

 

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවී මේ වනවිට බස්නාහිර පළාත ප‍්‍රධානව රටපුරා දිස්ති‍්‍රක්ක 24 දක්වා පැතිර ගොස් තිබෙන කොරෝනා වෛරස් තත්ත්වය ඉතා අති විශාල සාන්ද්‍රණයකින් යුතුව ශීඝ‍්‍රයෙන් පැතිර යන වෛරස් තත්ත්වයක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ ඊයේ (01දා) රටටම අනතුරු අඟවනු ලැබීය.

මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුර ආශි‍්‍රතව තවත් කොරෝනා ආසාදිතයන් 193 දෙනකු ඊයේ සවස් වන විට වාර්තා වූ අතර ඉන් හය දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වෙද්දී 187 දෙනකුම හඳුනාගෙන තිබුණේ ආශි‍්‍රතයන් ලෙසිනි.

එසේම ඊයේ දිනයේ ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා ආසාදිතයන් 506 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මෙම තත්ත්වය තුළ ඊයේ (01 වැනිදා) වන විට මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් හඳුනාගත් ආසාදිතයන් ගණන 1040 පමණ වෙද්දී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවූ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයන් ගණන 6338 දක්වා ඉහළ මට්ටමක තිබිණි.

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර හා සසඳන කල එය හත් ගුණයකට ආසන්න විශාලත්වයකින් යුතු ශීඝ‍්‍ර ව්‍යාප්තියක්ද වේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ කොරෝනා පොකුරේ මෙම ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග පෙරේදා වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 10856 දක්වා ඉහළ ගියේය. එම ආසාදිතයන් හඳුනා ගැනීම වෙනුවෙන් පෙරේදා දක්වා මෙරට තුළ සිදු කර ඇති පී. සී. ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව පන්ලක්‍ෂ දොළොස්දහස් හත්සිය තිස්පහක් (512,735) බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙසේ හඳුනාගත් ආසාදිතයන් අනුව මේ වන විට රටපුරා පවුල් 21,000 කට අයත් පුද්ගලයන් හැටහත්දහසක (67000) පමණ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.

සිදුවෙමින් තිබෙන ශීඝ‍්‍ර ව්‍යාප්තිය අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පොකුරේ ආශි‍්‍රත ආසාදිතයන් රැුසක් ඊයේ දිනයේද බස්නාහිර පළාත ප‍්‍රධානව රටේ විවිධ ප‍්‍රදේශවලින් හඳුනාගෙන තිබිණි.

දකුණු කොළඹ කළුබෝවිල මහ රෝහලේ ළමා වාට්ටුවේ වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් දෙදෙනකුට සහ හෙදියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය.

ළමා වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි දරුවකුට සහ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මීට පෙර හඳුනා ගනුණු අතර ඒ මාර්ගයෙන් වෛද්‍යවරුන් දෙදෙනාට සහ හෙදියට වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කළ අතර ඔවුන්ගේ සියලූ ආශි‍්‍රතයන් නිරෝධායනයට යොමු කිරීමටද කටයුතු කර තිබිණි.

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සැරයන්වරයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පෙරේදා හඳුනාගෙන ඇත. ඔහු කොළඹ නාරාහේන්පිට ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර සෞඛ්‍ය අංශ මගින් එම ප‍්‍රදේශයේ අහඹු ලෙස සිදු කළ පී. සී. ආර්. පරීක්‍ෂණ කිහිපයකින් පසු බන්ධනාගාර නිලධාරියා කොරෝනා ආසාදිතයකු බව අනාවරණය වී තිබේ.

මේ අනුව ඔහු සමග එකට සේවය යෙදුණු තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුණු අතර බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසකටද පී. සී. ආර්. පරීක්‍ෂණ සිදු කර ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සිව්දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වන විට හඳුනාගෙන තිබිණි. ඉන් එක් නිලධාරියකු රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවේ සේවය කරන අයකු වන අතර මෙම සිව්දෙනා ආසාදිතයන් බවට හඳුනා ගැනීමත් සමග ඔවුන්ගේ පළමු ආශි‍්‍රතයන් සියලූ දෙනා නිරෝධායනයට යොමු කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.

පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන තවත් මාධ්‍යවේදිනියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ.

මීට පෙරද මාධ්‍යවේදියකුට වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වූ අතර ඒ සමගම පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන සියලූ මාධ්‍යවේදීන්ට ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස දැනුම් දීමට සෞඛ්‍ය බලධාරීහු කටයුතු කළහ.

පෑලියගොඩ පොකුරේ ආශි‍්‍රතයන් ලෙස කොරෝනා ආසාදිතයන් 66 දෙනකු ඊයේ වන විට සබරගමුව පළාතෙන් වාර්තා වීම සැලකිල්ලට ගෙන කෑගල්ල නගරයේ සියලූ නවාතැන් පළවල් වසා දමා දැඩි සංචරණ සීමා පැනවීමට කෑගල්ල දිස්ති‍්‍රක් කොරෝනා මර්දන කමිටුව කටයුතු කරනු ලැබීය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරියකු නිකවැරිටිය ප‍්‍රදේශයේ නිවසක පැවති උපන් දින සාදයකට සහභාගි වීමේ සිද්ධියක් හේතුවෙන් එම ප‍්‍රදේශයේ පවුල් 36 ට අයත් පුද්ගලයන් 165 දෙනකු නිරෝධායනයට යොමු කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.

ඇඹිලිපිටිය නායකත්ව පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන විශේෂිත කොරෝනා රෝගී ප‍්‍රතිකාර ස්ථානයේ සිටින කොරෝනා ආසාදිතයන්ට දුම්වැටි අලෙවි කළ පුද්ගලයකු සොයා පොලිසිය සහ බුද්ධි අංශ පුළුල් මෙහෙයුමක් අරඹා ඇති බවද ඊයේ වාර්තා විය.

මෙහි ප‍්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයකු මුහුණු පොත හරහා හඳුනාගත් එම ප‍්‍රදේශයේ තරුණයකු මාර්ගයෙන් මීට දින කිහිපයකට පෙර රහසේ දුම්වැටි ගෙන්වාගෙන ඇති අතර පසුව එම ආසාදිතයා ප‍්‍රතිකාර ලබමින් සිටි අනෙක් පිරිසටද එය පවසා දුම්වැටි අවශ්‍ය අයගෙන් මුදල් එකතු කර එම තරුණයාට ලබා දී ඇත.

එහිදී මුදල් ලබා ගත් තරුණයා දුම්වැටි ලබාදීමක් කර නැති අතර ඒ හේතුවෙන් මුදල් ලබාදුන් ආසාදිතයා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ බලධාරීන්ට ඒ බව දැනුම් දීමෙන් පසු මෙම සිද්ධිය හෙළිවී ඇත.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ පිහිටි ආයෝජන මණ්ඩලයට අයත් සහ අයත් නොවන ඇඟලූම් කම්හල් 40 කින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 524 ක් බව ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සඳහන් කළේය.

සමන් ගමගේ - මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

-Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad