දත් දොස්තරට පහරදී නිවාස අඩස්සියේ තැබුවාට සගයින් සමග පැණි ධම්මික අත්අඩංගුවට පත්වන ලකුණු - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 20, 2021

දත් දොස්තරට පහරදී නිවාස අඩස්සියේ තැබුවාට සගයින් සමග පැණි ධම්මික අත්අඩංගුවට පත්වන ලකුණු

කාලි අනුහසින් කොරෝනා මඩින පැණියක් නිපදවූ බවට මෙන්ම ස්වාමින් වහන්සේලාට නිගරු කිරීම නිසා පසුගිය දිනවල මාධ්‍ය අවධානය යොමුවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර හෙවත් ධනපාල කංකානම්ගේ මහතා හමුවීමට ගිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු පිරිසක් එහිදී ඇතිකරගත් බහින්බස්වීමෙන් පසු  ඔවුන්ට පහරදී නිවාස අඩස්සියේ තබාගැනීමේ සිදුවීමක් වාර්තාවේ. මේ හේතුවෙන් වෛද්‍යවරයා පොලිසියට කළ පැමිණිල්ලක් මත එම ක්‍රියාවට දායකවූ ධම්මික හා ඔහුගේ සහචරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භවී ඇතැයි වාර්තාවේ.

වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.

පසුගිය දිනවල ධම්මික මහතා ප්‍රසිද්ධ කළ පැණිය පිළිබඳ කථාබහෙන් අනතුරුව ඔහුගේ පැණිය බොරුවක්ය යන තර්කය පදනම් කරගෙන වෙනම කථාබහක්ද නිර්මාණයවී තිබුණි. ඒ ඔස්සේ පැණිය ප්‍රවර්ධනය කළ මාධ්‍යවල ව්‍යාජ ස්වරූපය ගැන විවේචන ඇතිවිය. ධම්මික මහතාට ශ්‍රී මහාබෝධියට පැණිය වත්කරන්නට ඉඩ නොදීම නිසා ඔහු අටමස්ථානාධිපති හිමියන්ට බැණ වැදුනේ තමන් කාලි බව හඟවමිනි. එම සංවාදය සිරස මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු ඒ දක්වා ඔහු පාරම්පරික වෙදෙකු යයි රැවටී සිටි අයට ඔහු දේවාරූඨයෙන් වැඩ කරන්නෙකු බව මෙන්ම ඔහුගේ ආවේශාත්මක හැසිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවිය.

ඒ සමගම මාධ්‍ය මගින් පුම්බා තිබුණ ඔහුගේ ප්‍රතිරූපය බිඳ වැටෙන්නට විය. වීඩියෝ කෑලි හින්දා හරි කරදරේ යනුවෙන් ඔහුගේ අනුගාමිකයින් ඒ ගැන විවේචනය කර තිබූ අතර මේ නිසා ඔහුගේ දේවාල නිවාසය අවට වීඩියෝ ගත කිරීම් තහනම් කර තිබූ බවද ඒ සඳහා අධීක්ෂකයින් යොදා තිබූ බවද වාර්තා විය.
මේ අතරවාරයේ ඔහුගේ පැණිය පානය කළ කෑගල්ල අවට 15 කට ආසන්න පිරිසක් කොරෝනා රෝගය වැළඳී ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද ධම්මික මහතා නිශ්ශබ්දව සිටියේය.


මෙම ප්‍රශ්නකාරී වාතාවරණය තුළ ධම්මික හමුවීමට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු ඇතුළු ඔහුගේ හිතවතුන් කණ්ඩායමක් පසුගියදා එම නිවසට ගොස් තිබුණි.

වෛද්‍යවරයා මුලදී ඔහු සමග සුහද සාකච්ඡාවක නිරත වී තිබේ. පොලීසිය පවසන්නේ එහිදී ධම්මික බණ්ඩාර මහතා ඔහු විසින් නිපදවන ලද කොවිඩ් පැණිය සම්බන්ධයෙන් ඇතිවූ කතාබහකදී බටහිර වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කර විවේචනය කර ඇති බවයි. එම සිදුවීම දන්ත වෛද්‍යවරයා විසින් ඔහුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබේ.

එහිදී ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ් ඖෂධය සකස්කරමින් සිටි තරුණයන් කිහිප දෙනෙකු එය දැක නවත්වන ලෙස කෑගසා ඇත. වහාම ධම්මික බණ්ඩාර මහතා දන්ත වෛද්‍යවරයාගේ ජංගම දුරකථනය උදුරාගෙන එම දර්ශන මකා දමා බැණවැදී ඇති අතර සහචරයින්ද රොක්වී එහි ගිය පිරිසට පහරදී පැය කිහිපයක් නිවසේ සිර කර තබා ඇති බව දන්ත වෛද්‍යවරයා පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.කෑගල්ල පැත්ත පළාතේ යළි නොඑන ලෙසට ඔවුන් වෛද්‍යවරයා ඇතුලු කණ්ඩායමට තර්ජනය කොට එළවා දමා ඇත.

වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායම පසුව පේරාදෙණියට පැමිණ මෙම පහරදීම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් පේරාදෙණි පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පේරාදෙණිය පොලිසිය කෑගල්ල පොලිසියට මේ පිළිබදව දැනුම් දී ඇති අතර කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කොට ධම්මික බණ්ඩාර නමැත්තා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad