දුම්රියක වැසිකිළියේ දරුවකු දමා ගියායැයි සැකකරන තරුණියගෙන් ප්‍රශ්න කරන ආකාරය දැක්වෙන දර්ශන මාධ්‍යයට ලබාගැනීම සැළැස්වූ බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබේ.
ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. එම පරීක්ෂණ වාර්තාව දින තුනක් ඇතුළත පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න වෙතට භාරදිය යුතු අතර ඉන් අනතුරව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ එහි සිටි පොලිස් නිලධාරිනියන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.
ඊයේ (11) බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අදාල සැකකාර තරුණිය තම කාමරයට කැඳවා ප්‍රශ්න කර ඇත. එම අවස්ථාවේ පොලිස් නිලධාරිනියන් තිදෙනකු ද එහි සිට ඇති අතර කිසියම් පුද්ගලයකු ප්‍රශ්න කරන ආකාරය වීඩියෝ කර මාධ්‍යයට මුදාහැර තිබේ. එම වීඩියෝ කිරීම සිදුවන්නේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සහ එහි සිටින නිලධාරිනියන්ගේ දැනුම්වත්වීමෙන් යැයි දර්ශන අනුව පැහැදිළි වේ.
කාන්තාවන් සහ ළමයින් සම්බන්ධ විමර්ශන කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමත් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් පිළිබඳ දැඩිව සැළකිලිමත් වන ලෙස පොලිස්පතිවරයා විසින් මීට මාස තුනකට පමණ පෙර විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබිය දී ඔවුන් මෙලෙස කටයුතු කර තිබේ.
එමෙන්ම ලිංගික සේවා සපයන කාන්තාවන්, සම්බාහන ආයතන වැටලීම්වල දී මාධ්‍යවේදීන් සහභාගී කර නොගන්නා ලෙසත් එම මෙහෙයුම් පටිගත නොකරන ලෙසත් උපදෙස් දී තිබේ. තව ද සංක්‍රාන්ති ලිංගිකයන් සහ සමරිසි පුද්ගලයන් සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ දී ඔවුන්ගේ අනන්‍යතාව දැඩිව ආරක්ෂා කරන ලෙස ද පොලිස්පතිවරයා නිකුත්කළ විශේෂ චක්‍රලේඛයේ දක්වා ඇත.
එලෙස උපදෙස් දී තිබිය දී මේ ආකාරයෙන් අදාල තරුණිය මාධ්‍යයට අනාවරණය කිරීම, මාධ්‍ය ඉදිරියේ හිංසාකාරී ලෙස ප්‍රශ්න කිරීම වරදක් බව පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පවසයි.
කොටුව දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක වැසිකිළියේ දරුවකු දමාගොස් ඇතැයි පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිකුරාදා (10) රාත්‍රියේ ම පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර එම පරීක්ෂණ සිදුකර තිබුණේ පොලිස් බුද්ධි අංශය මගිනි. පරීක්ෂණ ආරම්භ කර පැය භාගයක් පමණ කාලයක දී අදාල තරුණිය සහ තරුණයා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට පොලිසිය හැකියාව ලැබී ඇත. ඒ වනවිටත් ඔවුන් කොළඹින් පිටව ගොස් තිබූ බැවින් එම තරුණිය බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී පසු දා සොයා ගැනීමට හැකිවිය.
සැකකාර තරුණිය බණ්ඩාරවෙල පොලිසියට කැඳවීමෙන් අනතුරුව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වීඩියෝවේ දැක්වෙන ප්‍රශ්න කිරීම් සිදුකරන්නේ මාධ්‍යය වෙත කතාවක් නිර්මාණය කිරිමේ අපේක්ෂාවෙන් යැයි ද පොලිස් දෙපාර්තමේන්තුවේ ම ආරංචිමාර්ග පවසයි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරා මෙම තරුණිය සොයාගැනීමේ පරීක්ෂණවලට කිසිසේත්ම අදාල නොවන බව ද පැවසේ.
බණ්ඩාරවෙල පොලිසියේ දී නිර්මාණය කෙරුණු මෙම වීඩියෝව පිළිබඳ දින තුනක් ඇතුළත වාර්තාවක් ලබාගැනීමෙන් අනතුරුව එම නිලධාරියා සහ එහි සිටි නිලධාරීන් සම්බන්ධයෙන් ද පටිගතකළ පුද්ගලයන් සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව පොලිස්පති කාර්යාලය පවසයි.
දරුවකු දුම්රියක දමා යාමේ සිද්ධියට අදාල යුවළ කඩිනමින් සොයාගත් පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ඇගයීමට ද පොලිස් දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබේ.
- theleader
No comments:
Post a Comment