හිටපු ජනපති ගෝඨාභයගේ කාමරයේ තිබී හමුවූ මිලියන 18ක මුදල ගැන විමර්ශන නවතයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 18, 2023

හිටපු ජනපති ගෝඨාභයගේ කාමරයේ තිබී හමුවූ මිලියන 18ක මුදල ගැන විමර්ශන නවතයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ ඔහුගේ නිල කාමරයේ තිබී පසුගිය සමයේ සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම මුදල් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එම කොමිසම ඊයේ (18) කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත මේ බව දැනුම්දී තිබුණා.

ඉකුත් 2022 වසරේ ජුලි මස 09 වන දින අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ එම මුදල් සොයාගෙන තිබුණා.

අනතුරුව අරගලකරුවන් විසින් මෙම මුදල කොටුව පොලීසිය වෙත භාරදී තිබූ අතර  කොටුව පොලීසිය ඒ බව අධිකරණයට දන්වා තිබුණා.

එසේ භාරදී සති තුනක් ගතවී තිබුණද එම මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

2022 වසරේ ජූනි මස 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මේ බව පෙන්වා දෙමින් කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ එම මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මේ අතර, ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් සිදුවූ නීතිමය කටයුතුවලදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ අතින් අඩුපාඩු සිදුවී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකය 2022 නොවැම්බර් මාසයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දී තිබෙනවා.

මෙහිදී දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල වූයේ අරගලකරුවන් විසින් භාර දුන් අදාළ මුදල මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා හට භාර දෙන ලෙසට කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන අමතුමක් ලබා දුන් බවටයි.

උමන්දා කුලසිංහ


No comments:

Post a Comment

Post Bottom Ad