විනය වැදගත්… නායකයෙකුට එය ඉතාම වැදගත්… නව තේරීම් කමිටු සභාපති කියයි… කියන ගමන් නායකත්වයට කුසල් මෙන්ඩිස්ම තොරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 3, 2024

විනය වැදගත්… නායකයෙකුට එය ඉතාම වැදගත්… නව තේරීම් කමිටු සභාපති කියයි… කියන ගමන් නායකත්වයට කුසල් මෙන්ඩිස්ම තොරයි

සෑම ක්‍රීඩකයෙකුටම විනය අතිශය වැදගත් බවත්   කණ්ඩායමේ නායකයාගේ විනය ඉතාම වැදගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසයි. ඔහු ඊයේ මේ බව පැවසුවේ බ්ලූම්ෆීල්ඩ් සහ එස්.එස්.සී තරගය අතරතුර වැන්ඩර්සේගේ පන්දුවක් හමුවේ  බින්දුවට දැවී ගිය කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයේ දොරට අලාභානි කර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ කළමනාකාරවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව මාධ්‍යවේදියෙක් කළ විමසීමකදී ය.


කණ්ඩායමේ නායකත්වය සඳහා ක්‍රීඩකයින් නම් කිරීමේදී ඔවුන්ගේ විනය සම්බන්ධයෙන් සොයා බලන්නේ නැතිදැයි මෙහිදී   මාධ්‍යවේදියා ඇසුවේය.

“කණ්ඩායම් ක්‍රීඩාවේදී නායකයාගේ විනය ඉතා වැදගත්. අපි කුසල්ගේ මේ සිදුවීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා.”

“ඔවුන් දැනුම් දුන්නා ඒ ගැන තරග තීරකවරයා වගේම SSC ක්‍රීඩා සමාජය ඒ ගැන විමර්ශනයක් කරනවා කියලා. ඒක අවසන් කරලා අපිට වාර්තාවක් ලබා දෙන්නම් කිව්වට තවම එය ලැබුනේ නැහැ.” ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් තවමත් නම් කර ඇති ශ්‍රී ලංකා එක්දින නායකයා කුසල් මෙන්ඩිස්ය .  වසර කිහිපයක් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි 20 කණ්ඩායම් හි නායකත්වය දැරූ දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරිමට හේතුවූයේ ඔහු අවසන් තරගාවලි කීපයේදී පිතිකරුවෙක් ලෙස අසාර්ථකවීම බව  උපුල් තරංග පැවසුවේය.

එමෙන්ම ඔහු කීවේ  ඉදිරි ලෝක කුසලානය ගැන සලකා බලා   කුසල් මෙන්ඩිස් සමග ගමනක් යන්න තේරීම් කමිටුව සූදානම් වෙන බව ද තරංග කීවේය.

තවද එළඹෙන සිම්බාබ්වේ සංචාරය සඳහා වන ශ්‍රී ලංකා එක්දින සංචිතයට ධනංජය සිල්වා නම් නොකිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

මෙම තීරණය ගැන කරුණු පැහැදිලි කරමින් උපුල් තරංග පැවසුවේ ධනංජය සිල්වා එක්දින කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ස්ථානය අනුව ඔහුට ලකුණු අතරට ඒමේ නොහැකියාවක් පවතින බවය.

“විශේෂයෙන් අපි විශ්වාස කරනවා එක්දින තරග වලදී ඔහු පළමු පිතිකරුවන් කිහිප දෙනා අතර පිතිකරණයේ දී හොඳින් ලකුණු ලබාගෙන තිබෙනවා. ඔහු හොඳ ලකුණු කරා ගිහින් තියෙනවා.”

“ඒ වගේම ධනංජය දැන් ක්‍රීඩා කරන්නේ අංක 6-7 කියන පිතිකරණ ස්ථානයේ. ඒකෙන් ඔහුටත් වැඩක් නැහැ වගේම කණ්ඩායමට වැඩකුත් නැහැ.”

“ඔහු නැවත එක්දින කණ්ඩායමට එන්න ඕන පළමු පිතිකරුවන් තිදෙනා අතරෙයි. අපි ඒක ඔහුට කිව්වා.” තරංග පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ධනංජය ද සිල්වා නම් කර ඇති අතර උප නායකයා ලෙස  නැවත වරක් කුසල් මෙන්ඩිස් තෝරා තිබේ.

සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය සඳහා නම් කළ  ක්‍රීඩකයින් 17  අතරට පසුගිය ලෝක කුසලානයට ඇතුළත් වූ  ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු කුමාර, මතිෂ පතිරණ, කසුන් රාජිත සහ දුෂාන් හේමන්ත නම් කර නැත.

නව එක් දින සංචිතයට ඇතුළත් ක්‍රීඩකයින් වන්නේ පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස් (නායක), සදිර සමරවික්‍රම, චරිත් අසලංක, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, ප්‍රමෝද් මධුෂාන් , ඩිල්ෂාන් මධුෂංක , සහන් ආරච්චිගේ, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය සහ වනිදු හසරංග ය.

ලංකාසර


No comments:

Post a Comment

Post Bottom Ad