සජිත් පාර්ශ්වය අඟහරුවාදා අරලියගහ මන්දිරය වැටළීමට සූදානම් වෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 8, 2019

සජිත් පාර්ශ්වය අඟහරුවාදා අරලියගහ මන්දිරය වැටළීමට සූදානම් වෙයි !

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර තීරණාත්මක සාකච්ඡාව පැවැත්වීමට නියමිත අඟහරුවාදා, එනම් හෙට (10) දිනයේදී අරලියගහ මන්දිරය වටළා උද්ඝෝෂණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සජිත් පාර්ශ්වයේ අනෙකුත් මැති ඇමතිවරුන් ද එය අනුමත කර තිබේ.

ඉරිදා හමුව මඟහැරියේ සෙනඟ ගෙන්වා ගන්න කල් මදි නිසා

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව අග්‍රාමාත්‍යවරයා විසින් පසුගිය 06 වනදා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට නිවේදනය කිරීමෙන් අනතුරුව, කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යන සජිත් පාර්ශ්වයේ කැරළි නායකයින් ඊට විරෝධය පළකර තිබුණු අතර එහිදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණේ 08 වන ඉරිදා තමන් සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණු එම හමුව මඟහැරීමට සජිත් පිල තීරණය කර තිබුණේ ද අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණය කිරීමට සෙනඟ ගෙන්වා ගැනීමට කාලය අවශ්‍ය නිසා බවයි වාර්තා වූයේ.

තමන්ට අවශ්‍ය පරිදි සෙනඟ ගෙන්වා ගැනීමේ පහසුව සඳහා ඔවුන් අඟහරුවාදා හවස්වරුවේදී රනිල් - සජිත් සාකච්ඡාව පැවැත්වීමට යොදාගෙන ඇති අතර මූලිකවම එදිනට දස දහසක සෙනඟක් රැගෙන ඒම අජිත් පී. පෙරේරා මහතා විසින් භාරගෙන තිබේ.

සජිත්ට අපේක්ෂකත්වය දෙන තුරු රනිල් නිවාස අඩස්සියේ

සාකච්ඡාව සඳහා සජිත් ප්‍රේමදාස මහතා අරලියගහ මන්දිරයට පැමිණෙන මොහොතේ ඔහුව උත්සවාකාරයෙන් පිළිගැනීමටත් සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාව වනවිට අරලියගහ මන්දිරයේ සියලු පිවිසුම් ගේට්ටු අවහිර කර කිසිවකුට ඇතුළු වීමට හෝ පිටවීමට නොදී සජිත් අපේක්ෂකයා ලෙස නම් කිරීමට බලකරමින් උද්ඝෝෂණය කිරීමටත් නියමිත බව සඳහන්.

එසේම යම් හෙයකින් සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දීමට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවුණහොත් ඔහුව අරලියගහ මන්දිරය තුළ නිවාස අඩස්සියේ තබා ගනිමින් එම මන්දිරය වටළා වාඩිලා ගැනීමට ද සැලසුම් කර ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේ ගැනෙනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.
-lankanewsweb

No comments:

Post a Comment

Post Bottom Ad