කළු ජීප් එකකින් මාධ්‍යවේදියෙකු මුහුණ වසා පැහැරගෙන රත්කල යකඩයකින් පහර දීලා - FMM - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 17, 2021

කළු ජීප් එකකින් මාධ්‍යවේදියෙකු මුහුණ වසා පැහැරගෙන රත්කල යකඩයකින් පහර දීලා - FMM

මාධ්‍යවේදියකු පැහැර ගෙන යෑමේ සිදුවීම පිළිබඳ සත්‍යය වහා හෙළිදරව් කළ යුතු යයි
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධිනය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

මාධ්‍යවේදියකු පැහැර ගෙන යෑමේ සිදුවීම පිළිබඳ සත්‍යය වහා හෙළිදරව් කළ යුතුයි! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සුජීව ගමගේ නම් නිදහස් මාධ්‍යවේදියකු පැහැර ගෙන ගොස් වදහිංසා පමුණුවා අතහැර දමා යෑම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල අනතුරු ඇඟවීමක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු අනාවරණය කරන ලෙස රජයට අවධාරණය කර සිටී.

සුජීව ගමගේ ප්‍රකාශ කළ අන්දමට සහ වාර්තා වී ඇති ආකාරයට ඔහුව පැහැර ගෙන ඇත්තේ මීරිගම නගරයේදීය. කලු පැහැති ජීප් රථයකට නංවා ගෙන, කලු පැහැති බෑගයකින් මුහුණ වසා, නිවසකට ගෙන ගොස් ප්‍රශ්න කරමින් පහර දී, රත්කළ යකඩ පටියකින් පිළිස්සීම් සිදු කර ඇත. ඔහු සතුව තිබූ ආන්දෝලනාත්මක තොරතුරු ඇතුළත් දත්ත කාඩ්පතක් ඉල්ලා එසේ වදහිංසා කර ඇති බව ප්‍රකාශ වේ. ඔහු සතුව තිබූ පෙන් ඩ්‍රයිව් දෙකක් සහ ඔහුගේ නිවසේ තිබූ අදාල දත්ත කාඩ්පත ලබා ගැනීමෙන් පසු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඔහුව අතහැර දමා ඇති බව ප්‍රකාශ වේ.

මේ වන විට තමන් විසින්ම පවත්වා ගෙන යන වාර ප්‍රකාශනයක කටයුතු කරන සුජීව ගමගේ ප්‍රකාශන කිහිපයකට සම්බන්ධව කටයුතු කර ඇති නිදහස් මාධ්‍යවේදියෙකි. ඔහු සතුව තිබූ ආන්දෝලනාත්මක දත්ත කාඩ්පතක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වූවානම් නීත්‍යානුකූලව එය සිදු නොකිරීම ගැටලු සහගතය.

පැහැර ගැනීම සිදු වී ඇත්තේ මාර්තු මස 10 වැනිදාය. සුජීව ගමගේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව අනාවරණය වන්නේ මාර්තු මස 15 වැනිදාය. සිදුවීම සම්බන්ධයෙන් දෙමටගොඩ පොලීසිය විසින් කටඋත්තරයක් ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරන බව ද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් කොට මෙම පැහැර ගැනීම සිදු වූයේ කුමක් නිසාද, පැහැරගනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ සත්‍ය කරුණු හැකි ඉක්මනින් අනාවරණය කරන ලෙස පොලිස්පතිවරයාට අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස රජයට බලකර සිටී.

සීතා රංජනී
කැඳවුම්කරු

ලසන්ත ද සිල්වා
ලේකම්


No comments:

Post a Comment

Post Bottom Ad