ෆයිසර් හා මොඩානා දෙන්නේ රට සරසවිවලට යන සිසුන්ටයි- හමුදාපති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, September 25, 2021

ෆයිසර් හා මොඩානා දෙන්නේ රට සරසවිවලට යන සිසුන්ටයි- හමුදාපති

යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව අදාළ එන්නත් ලබාගැනීමට නම් විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය බවද පැවසේ. 
හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ, දේශීය විශ්වවිද්‍යාල සඳහා යන සිසුන්ට මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙන බවට මෙතෙක් තීරණයක් ගෙන නැති බවය.
 
සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි.
 
නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල පිරිසක් පැමිණ තිබුණි.
 
කෙසේවෙතත් යුද හමුදා රෝහලේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවය.
 
ඒ සමග එහි නොසන්සුන් තත්වයක් ඇති වුණි.
 
මේ සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මාධ්‍යට පවසා ඇත්තේ අද සහ හෙට දෙදින තුළදී මොඩර්නා එන්නත යුද හමුදා රෝහලේදී සිසුන්ට ලබාගත හැකි බවට මුලින් සඳහන් කළත්, නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය නොපැවැත්වෙන බව යුද හමුදාව ඊයේ (24) රාත්‍රීයේදී තමාට දැනුම් දුන් බවය.
 
ඒ බව ඊයේ රාත්‍රීයේදීම පෙර දැනුවත් කළ ආකාරයෙන්ම සිසුන්ට දැනුවත් කිරීමට පියවර ගත් බව ඇය පවසා තිබේ.
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කර ඇත්තේ, "මේ එන්නත දෙන්න අර එන්නත දෙන්න කියලා අපි කිසිම ඉල්ලීමක් කරලා නෑ," යනුවෙනි. 

No comments:

Post a Comment

Post Bottom Ad