ආණ්ඩුවට සෙත්පතන පිරිතට රාජ්‍ය සේවකයන්ගෙන් සල්ලි ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 23, 2023

ආණ්ඩුවට සෙත්පතන පිරිතට රාජ්‍ය සේවකයන්ගෙන් සල්ලි ඉල්ලයි

ජනාධිපතිවරයා ඇතුළු රජයට සහ රජයේ සේවකයන්ට සෙත් පැතීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන රුපියල් ලක්ෂ හතකට අධික මුදල රජයේ සේවකයන්ගෙන් අය කර ගැනීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන මුදල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනවල සේවයේ නිරත රජයේ සේවකයන්ගෙන් අයකර ගැනීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) එම්.එල්.ගම්මන්පිලගේ අත්සනින් යුතුව MINPUB/Buddhist/2023 අංක දරන ලිපිය ආයතන ප්‍රධානීන්ට යොමුකර තිබේ.

එම ලිපියට අනුව, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් පන්දහසක මුදලක්ද, පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක්ද, අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දහසක මුදලක්ද, සෙසු නිලධාරියෙකුගෙන් කැමැත්ත පරිදි අවම වශයෙන් රුපියල් සියයක් හෝ ඊට වැඩි මුදලක් එකතු කෙරේ.

ජනාධිපතිවරයා ඇතුළු රජයටත්, සියලුම රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත්, මව්බිමටත් සෙත් පතා සංවිධානය කරන ලද මෙම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ජූනි මස 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, පසුදින මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වේ.

මෙලෙස රජයේ සේවකයන්ගෙන් මුදල් එකතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්ම නිකුත් කරන ලද ආයතන සංග්‍රහය උල්ලංඝණය කරමින් බවත්, නිලධාරීන්ගෙන් මුදල් එකතු කර ආණ්ඩුවට සෙත්පතා පිරිතක් පවත්වනු ලබන්නේ කුමන කාරණයකට දැයි රජයේ සේවකයෝ විමසති. 

ආයතන සංග්‍රහයේ සඳහන්ව තිබෙන පරිදි ‘නිලධරයෙකු විසින් මහජන පුණ්‍යාධාර සඳහා ස්වකීය යටත් සේවකයන්ගෙන් මුදල් එකතු කිරීමට කෙළින්ම සම්බන්ධ වීම හෝ ස්වකීය යටතේ සේවකයන්ගෙන් එවැනි මුදල් එකතු කිරීමට තම පවුලේ අයට ඉඩදීම හෝ නොකළ යුතුය.’

- සාලිය කුමාර ගුණසේකර
- aruna

No comments:

Post a Comment

Post Bottom Ad