අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි - විගස පුවත් - Vigasapuwath

Wednesday, February 27, 2019

අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි

අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි

එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනතා සේවය කිරීමේදී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඊයේ (27) පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
 
මැති ඇමතිවරුන් කොකෝන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු කෙරිණි.
  
වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තමන්ට අයිතියක් නැති බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය නම් රහස් පොලිස් වාර්තා පදනම් කරගනිමින් රජයක් ලෙස අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි බවද පෙන්වා දී තිබේ.
 
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ආවේගාත්මක ලෙස අදහස් පළ කර ඇති රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ තමන්ට සාමාජිතයන් ලක්ෂ 7ක් සිටින ගිණුමක් මුහුණුපොතේ ඇති බවත් ජනප්‍රිය දේශපාලකයෙක් ලෙස තමන් කියන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවත්ය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ද එහිදී වගකීමෙන් අදහස් ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව පවසා තිබේ. කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වෙද්දී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවේගාත්මකව අදහස් පළ කරමින් ඉන් පිටව යාමට උත්සාහ කළ බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *