වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 25, 2019

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වූ හැටි රාජිත හෙළිකරයි

වතු කම්කරුවන් සඳහා රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබාගැනීමේ සටනේ දී වතුකරයේ දෙමළ දේශපාලනඥයින් සමග තමන් ද සාකච්ඡා කළ බවත්, ඉන්පසු එම දේශපාලනඥයින්ගේ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමෙන් පසු රුපියල් 800 ක දෛනික වැටුපක් ලබාගැනීමට හැකි වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ලංකා ජාතික වතු කම්කරු සංගමයේ කළුතර දිස්ත්‍රික්කයේ නායකයින්ගේ රැස්වීමේදීය.

"වතු කම්කරුවන් වෙනුවෙන් රජය විශාල වැඩ කොටසක් ඉටු කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 කින් වැඩි කිරීමේ සටනටත් මම දායක වුණා. පලනි දිගම්බරම්, මනෝ ගනේෂන් හා ආරුමුගම් තොණ්ඩමන් යන වතුකරයේ දේශපාලනඥයින් මා සමග සාකච්ඡා කළා. පලනි දිගම්බරම් අමාත්‍යවරයාට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද දැනුම් දී තිබුණේ මේ පිළිබඳව මා සමඟ සාකච්ඡා කරන ලෙසයි. ඉන්පසු අග්‍රාමාත්‍යවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කළා. එහිදී රුපියල් 750 ක් දක්වා වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීමට වතු හාම්පුතුන් එකඟ වී තිබුණා. තවත් රුපියල් 50 ක් රජයෙන් ලබාදීමේ පදනම මත වතු කම්කරු වැටුප රුපියල් 800 දක්වා වැඩි කළා."

වතු යටිතල පහසුකම් සංවර්ධනයට මදිහත් වූ ආකාරය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළේය.

"2002 වසරේ දී වතුකරයේ ජනතාවගේ නිවාස සෙවිලි කිරීම සඳහා ටකරන් ලබා දුන්නා. ඒ ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ සහ මාගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවකට අනුවයි. වතු කම්කරුවන් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ රජයන් විශාල වැඩ කොටසක් ඉටු කළා. පසුගිය රජය සමයේ දී වතු කම්කරුවන් වෙනුවෙන් ඉඩම් ලබාදීමට මම සහ ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා ඒකාබද්ධ කැබ්නට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය අමාත්‍ය මණ්ඩලය අනුමත කළත් ඉඩම් අයිතිය ලබා දුන්නේ නැහැ. වතු රෝහල් අදියරෙන් අදියර රජයට පවරා ගනිමින් සංවර්ධනය කරනවා. වතුවල කෝවිල් සංවර්ධනය කිරීම සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලක් මම එකතු කර තිබෙනවා. එම මුදල මම කළුතර දිස්ත්‍රික්කයේ කෝවිල් සංවර්ධනය කිරීම සඳහා වැය කරනවා. වතු මාර්ග සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර එම වැඩපිළිවෙළ මෙම වසරේ දී ආරම්භ කිරීමට නියමිතයි."

No comments:

Post a Comment

Post Bottom Ad