Loading...
කළුතර දිස්ත‍්‍රික්කයත් රත්නපුර දිස්ත‍්‍රික්කයත් සීමාවන මායිමේ නාවලකන්ද නම් පිටිසර ගම්මානයකි. දැනට දශක හය හතකට පෙර මේ ප‍්‍රදේශය හද්ද පිටිසර වනගත පරිසරයකින් සමන්විත විය. කළුතර සිට කලවාන දක්වා දිවෙන පටු පාරකි. මේ මාර්ගයේ දිනකට බස් රථයක් වාර දෙක තුනක් ගමන් කරයි. නාවලකන්ද ගමේ කුඩා පන්සලක් පිහිටා තිබෙන අතර, එහි වයෝවෘද්ධ හිමිනමක් වැඩ වාසය කර ඇත. ප‍්‍රධාන මාර්ගයේ සිට සැතපුම් දෙකකට ඈතින් පිහිටි පන්සලට පා ගමනින් යා යුතු විය. එම ගුරු පාර දෙපස වෙල්යායක් ඇති අතර ඔයක් ද ගලා බසී. මහා මාර්ගයේ සිට පන්සලට යන පාරේ සොහොන් පිට්ටනිය ද පිහිටි අතර අඳුර වැටීමත් සමඟ ගම්මු කිසිවෙක් මේ පාරේ ගමන් නොකරති. පාරේ තැනින් තැන බටකොළ පොල් අතු සෙවිලි කළ කටුමැටි ගසන ලද නිවෙස් කීපයක් ම විය. රාත‍්‍රියේ එම මාර්ගය හොල්මන්, අවතාර, භූතයන්ගේ පාරාදීසයක්ව තිබූ බව ගම්වාසීන් කීපදෙනෙක්ම මා සමග පවසා ඇත.
කළුතරින් නාවලකන්ද හරහා ගමන් කරන අවසන් බස් රථය ගොම්මන් වීමත් සමග පන්සල් හන්දිය වෙත පැමිණ ඇත. ඒ බස් රථයේ ආගන්තුක හිමි නමක් සිටි අතර උන්වහන්සේ බස් රථයෙන් බැස අසල්වැසි ගැමියෙකුගෙන් පාර පිළිබඳ තොරතුරු අසා ඉදිරියට එන්නට විය. අමාවක පෝ දිනයක් නිසා අඳුර මඳක් දැඩිව තිබූ අතර ගැමියා ආගන්තුක හිමිනම අමතා පරිස්සමෙන් යන ලෙස ද දන්වා ඇත. ඒ ඇයි දැයි හිමිනම පෙරළා ඇසූ විට මඟ පෙන්වන්නා ප‍්‍රකාශ කළේ සොහොන් පිට්ටනිය කිට්ටුව අමනුෂ්‍යයන් හැසිරෙන බවයි. ආගන්තුක හිමිනම නාවලකන්ද පන්සලට යන්නට ආවේ ද තමන්ට ඇති වී තිබෙන මළ පේ‍්‍රත දිෂ්ටියකට යකැදුරුකමක් කරවාගැනීම පිණිසය.
තරුණ ආගන්තුක හිමිනම දැඩි සේ බියට පත් වුවත් ඒ බව සඟවාගෙන කරුවලේම ඉදිරියට යන්නට විය. කෙසේ වුවද සිත නම් බියෙන් පිරී ඇත. හැම තැනම පෙනෙන්නේ අවතාර හා භූතාවේශයන් ය. මිනිස් පුළුටක් තබා කටහඬක්වත් නෑසේ. අද පන්සල්වල සවසට බෝධි පූජා ඇතත් එදා එවැනි පූජාවන් දක්නට නොවීය. හිතට දැඩි එඩිතර භාවයක් ගෙන ඉදිරියට යන හිමියන්ට වැඳ නමස්කාර කරන්නට ඔය දෙසින් සුරූපී කාන්තාවක් එක්වරම මතුවිය. මනා අඟපසඟින් හෙබි මේ තරුණ ළඳ අඩඅඳුරේම දෑත් වන්දනා කරමින් ගොඃ ගොඃ ගොඃ’ ගසමින් හිමිනම වෙත සමීප වූවාය. අත තිබූ පාත‍්‍රයත්, කුඩයත්, සිවුරත් බිම දමා බියට පත් හාමුදුරුවන් දුවන්නට විය. මේ නම් අන් කවරෙක් නොව මෝහිණීගේ අවතාරයමයි සිතා ටික දුරක් දුව ගොස් හති දමමින් නතර විය. උන්වහන්සේට දැන් දැන් කලින් හඳුන්වා දුන් සොහොන් පිට්ටනියද, පෙනෙන්නට විය. යළි නවතිනවාත් සමග අර කාන්තාව නැවත දුවවිත් වඳින්නට හදයි. යළි හිමිනම දුවන්නට පටන් ගනී. ගොඃ ගොඃ ගොඃ ගාමින් තරුණිය නවතී. ආගන්තුක හිමිනම යළි දුවන්නට විය. මේ ආකාරයට විටෙක හිමිනම දුවයි. තවත් විටෙක තරුණිය දුවයි. හිිමිනම නවතින විට ඇය දුවවිත් වඳින්නට ලෑස්ති වෙයි. බියට පත් හිමිනම යළි දුවයි. මේ ආකාරයට දෙදෙනාගේ දිවීමත්, නතරවීමත් කීප වාරයක් ම සිදුවිය. දියෙන් ගොඩට දැමූ කුඩමසෙකු මෙන් වෙව්ලමින් දුවන හිමිනම ඇද වැටේ. යළි නැගිට දුවයි.
දැන් දැන් විහාරස්ථානයේ දැල්වෙන පහන් ආලෝකය පෙනෙයි. පසුපස ලූහුබැඳ බියට පත් කරමින් පැමිණි සුරූපිනිය අතුරුදන් වී ඇත.
අපේ ආගන්තුක හිමිනම විහාරස්ථානට ඇතුළුවනවාත් සමගම ආවාස ගේ තුළ සිහිසුන්ව ඇදවැටුණි. මේ බව පන්සලේ පසෙක සිටි ඇබිත්තයා දැක ඔහුට වුණේ මොකක්දැයි සිතා ගත නොහැකිව දිවගොස් සිද්ධිය ලොකු හාමුදුරුවන්ට සැලකර ඇත. යන්ත‍්‍ර මන්ත‍්‍ර වෙද හෙදකම් පිළිබඳ මනා දැනුමක් ඇති වයෝවෘද්ධ ලොකු හාමුදුරුවෝ ආගන්තුක භික්‍ෂුව වැටී සිටි ස්ථානයට පැමිණ පරීක්‍ෂා කළහ. උන්වහන්සේට සියල්ල අවබෝධ විය. හිමිනමගේ නාහෙන් කටින් ලේ ගලා ඇත. කථා කළත් කථා නැත. සිිහිසුන්ය. ඇඟපත දරදඬු වෙලාය. මේ නම් යක්‍ෂ දෝෂයක් යැයි තීරණය කළ නායක හිමියෝ රාත‍්‍රියේම තොවිලය සූදානම් කළේය. ගමේ ප‍්‍රසිද්ධම යකැදුරා ගෙන්වා කරුණු විමසීමෙන් පසු ඔහු කීවේ ‘‘මේක මෝහිණිගේ දිෂ්ටිය නිසා සිදුවූ රෝගී තත්ත්වයක්. වැඬේ ටිකක් බරපතළයි. මේ ආගන්තුක හිමිනම නායක හාමුදුරුවන් පවා කිසිවෙක් නාඳුනයි. තරුණ හිමිනමක් නිසා සුව අතට ගත යුතුයැයි ප‍්‍රකාශ කළ යකැදුරා දරහැවක් දී තුන්වරු යක් තොවිලයක් කිරීමෙන් සුවකළ හැකි බව පැවසීය. අසල්වාසීන් ද සහාය කරගෙන අවශ්‍ය කරන සියලූම ද්‍රව්‍ය සපයා ගෙන යක්බෙරකරුවකුගේ ද සහාය ලබාගෙන පසුදා දිවා කාලය වනතුරු කරන ලද ශාන්තිකර්මයෙන් පසු ආතුරයා (හිමිනම* සිහිය ලබා නැගිට වටපිට බලන්නට විය. අතේ නූල් බැඳ තිබූ අතර බෙල්ලේ සුරයක් ද එල්ලා තිබුණි.
රෝගියා යථා තත්ත්වයට පත්වීමෙන් පසු සියල්ලෝම විසිර ගියහ.
ඉක්බිති රෝගීව සුවපත් වූ හිිමිනම මුහුණකට සෝදා දන් පැන් ආදිය වැළඳීමෙන් පසු තමා මෙහි පැමිණි කාර්යයත්, මුහුණ පෑ සිද්ධියත් නායක හිමියන්ට සවිස්තරාත්මකව කීය. නායක හිමියන් අන්ද මන්ද විය. ගොඃ ගොඃ ගාමින් රූමත් කාන්තාවක් තමාට වඳින්නට දිව ආ හැටිත් තමා බේරීමට දුවගිය ආකාරයත් කියන විට පන්සලේ නායක හිමියන් සියල්ල අවබෝධ කර ගත්හ.
පන්සලට එන පාරේ සොහොන් පිටියට මඳක් ඈතින් ගලන දිය පාර අසල නිවසක් ඇත. මෙහි ඉතාමත් සුරූපී ගොළු තරුණියක් සිටී. නායක හිමියන් ගමනක් බිමනක් ගොස් ආපසු පන්සලට පැමිණෙනු දකින මේ ගොළු යුවතිය නායක හිමියන් වෙත පැමිණ පසඟ පිහිටුවා වඳියි. මෙය ඇය ඉතාම ගෞරවයෙන්, බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් කරන වන්දනාවකි. නායක හිමියන් ද ඇගේ වැඳීම පිළිගෙන ඇයට තෙරුවන් සරණ පතයි. අනතුරුව ඇය නිවසට යයි. එදා අර ඉහත කී ගොළු තරුණිය කර ඇත්තේ ද සුපුරුදු පරිදි ලොකු හාමුදුරුවන්ට වඳින්නට පැමිණීමය. ආතක් පාතක් නොදන්නා ආගන්තුක හිමිනම ගොළු තරුණිය වඳින්නට ළංවන විට දිවගියේ මෝහිණිගේ අවතාරය සේ සලකාය. වෙනදා වැඳුම් ලබන නායක හිමි අද දුවන්නේ ඇයි දැයි ඇයට වටහාගත නොහැකි විය. ඒ නිසා ඇය පසුපස හඹායමින් වඳින්නට වෙර ගත්තාය. සන්ධ්‍යා භාගයේ පන්සල වෙත පැමිණි ආගන්තුක හිමියන් මුහුණ දුන්නේ මෙවන් සිදුවීමකට බව පහදා දුන්නත් තරුණ භික්‍ෂුව එය පිළිගත්තේම නැත. අවතාරයක් බවම පවසමින් තර්ක කළහ. තවමත් බියමුසු ස්වරූපයක් හිමිනම තුළ විය.
අනතුරුව නායක ලොකු හාමුදරුවෝ සත්‍ය පහදා දෙන්නට ක‍්‍රමෝපායක් කල්පනා කළහ. ඉහත කී ගොළු තරුණිය පන්සලට කැන්දා එන මෙන් ඇගේ දෙමාපියන්ට පණිවිඩයක් යැවීය. සුළු වේලාවකින් මෝහිණිගේ රූසපුව පරදවන තරමේ රූමත් ගොළු තරුණිය පන්සලට පැමිණීමත් සමඟ ආගන්තුක හිමිනම අන්ද මන්ද විය. තමා සොහොන් පිට්ටනිය අසලදී දැක ඇත්තේ මෝහිණී නොව මේ තරුණිය බව තේරුම් ගෙන දැඩි ලැජ්ජාවට පත්වූ ආගන්තුක හිමිනම පසු නොබලාම පන්සලෙන් බැහැර වී ගිය බව අදත් එම ගමේ පැරැුණි ගම්මු සිනාසෙමින් කියති. ආගන්තුක හිමිනම බියට පත් කළ ගොළු කාන්තාව වයෝවෘද්ධව තවමත් ගමේ සිටින බව මා සමග ගම්වැසියෙක් පැවසීය.
-දිවයින පුවත්පත
කලවාන - රණසිංහ ආරච්චි

No comments:
Post a Comment