ජනපති නියමයෙන් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 25, 2019

ජනපති නියමයෙන් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරයි

ජනපති නියමයෙන් ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරයි

05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිවරයා පවසයි.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදිමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ “මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය” ඊයේ (25) පස්වරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත්වීමේ තරගයක් වී අති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිවරයා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටලුවක් පවතින බව සඳහන් කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිදුවිය යුත්තේ ජනප්‍රිය යැයි සම්මත පාසල් සඳහා ඇතුළත්වීමේ තරගයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප්‍රදේශවල මැති ඇමතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත්ය.

‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 140 ක් වැය කරමින් ආසන 5000 කින් සමන්විතව මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ඉදිකර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු ලෙස විද්‍යාලය වෙනුවෙන් ඉටුකළ යුතු සෑම යුතුකමක්ම තමන් මේ වන විට ඉටුකර තිබෙන බවයි. ඒවා නිසි කළමනාකරණයට සහ නඩත්තුවට ලක් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම වත්මන් සිසු පරපුරේ වගකීම බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

No comments:

Post a Comment

Post Bottom Ad