මේ පාර හැංගිමුත්තන් කෙළින්න ගියොත් ඒකෙ අපකීර්තිය මෛත‍්‍රීපාලට.- ඩිලාන්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 24, 2019

මේ පාර හැංගිමුත්තන් කෙළින්න ගියොත් ඒකෙ අපකීර්තිය මෛත‍්‍රීපාලට.- ඩිලාන්.


Loading...

ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලාංකේය දේශපාලනය තුළ තරමක් විවාද සම්පන්න චරිතයකි. මේ දිනවල ඔහු සිය පක්‍ෂ නායකයා (ශ‍්‍රීලනිපයේ) දැඩි ලෙස විවේචනය කරමින් හිඳින්නේය. අයවැයට විරුද්ධව ඔහු ඇතුළු කිහිප දෙනෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව ඡන්දය ලබාදුන්නේය. මේ ඒ සියලූ කාරණා ගැන ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයා සමග කරන ලද සංවාදයයි.

 ප‍්‍රශ්නය - ඔබ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති වරයෙක්. පසුගිය සතියේ ඔබ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ගත් තීන්දුවට විරුද්ධව කටයුතු කළා. ඒ කිව්වේ මෙවර අයවැය දෙවැනි වර කියවීමේදී ඡන්දය දීමෙන් වැළකී ඉන්න පක්ෂය තීන්දු කර තිබියදී ඔබ ඇතුළු තව කීප දෙනෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව අයවැයට විරුද්ධව ඡන්දය දුන්නා. මේ හේතුවෙන් පක්ෂය ඔබට විරුද්ධව විනය ක‍්‍රියාමාර්ගයක් 

 ගන්න එකක් නැද්ද...?

 පිළිතුරු - එහෙම වෙන්න විදියක් නෑ.... ඒ මොකද මම එදා ගත්ත තීන්දුව තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට එකඟ. දෙවැනි කාරණාව තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයෝ ඇතුළු නිලධාරීන් මොන මොන විදියට ගත්තත් අපේ පක්ෂයෙ හරය වූ පාක්ෂිකයෝ අපට ලබා දුන් තීන්දුවක් තියෙනවා. ඔවුන් කිව්වා එක්සත් ජාතික පක්ෂය සමඟ හවුලේ මගුල් කන්නේ නැතුව වරෙල්ලා එළියට කියලා. එහෙම ඇවිල්ලා වුණත් අපි තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති වලට විරුද්ධව සිරිකොතේ ශාඛාවක් විදිහට වැඩ කරනවා. ඒකට ජනතාව එකඟ වෙන්නෙත් නෑ. ඉතින් අපි එදා වැඩ කළේ ජනතාව බලාපොරොත්තු වෙන දේ ඉටු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හැටියට. වැදගත්ම කාරණාව තමයි මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා එතුමා මේ පක්ෂයෙන් ඔයාගේ වුණත් අනෙකුත් නිලධාරීන්ට හා සාමාජිකයන්ට අවස්ථාව දීලා තියෙනවා එතුමා ගන්න තීන්දුවකට වුණත් විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව අපට හරි කියලත් හැෙඟන දේ අනුව වැඩ කරන්න. මේ එතුමා එහෙම අවස්ථාව දීපු පළමු වතාව නෙමෙයි. සම්මුතිවාදී ආණ්ඩුව හදන්න මධ්‍යම කාරක සභාව තීන්දු කරපු වෙලාවෙදි ඒකට අකැමැති අයට ඉඩ දුන්නා වෙනම ඉන්න. විශ්වාසභංගය වෙලාවෙදි අපේ කැමැත්තට අනුව කටයුතු කරන්න හිතුවා ඉඩ දුන්නා. මේ අවස්ථාවේදීත් අපිට ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේවි කියලා අපි විශ්වාස කරනවා. ඒත් එක්කම මම හිතනවා ලබන අපේ‍්‍රල් පස්වැනි දා අයවැය අවසන් වර කියවීමේ ඡන්දෙදි වත් අපේ අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ පුරුද්ද අත්හැරල අපි සමඟ සටන්කාමීව අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීන්දුවක් ගනීවි කියලා.

 ප‍්‍රශ්නය - මොකක්ද ජනාධිපතිතුමාගේ පුරුද්ද කියල කිව්වෙ..?

 පිළිතුර - ඇයි ඇඳ යට හැංගෙන එක. ඒක දැන් එතුමාට පුරුද්දට ගිහිල්ල නේ. මතකයිනේ විශ්වාසභංගය වෙලාවෙදිත් ඇද යට හැංගුණා. මේ අයවැය වෙලාවෙදිත් ඇඳ යට හැංගුනා. ඒ වගේ හැංගෙන්නෙ නැතුව ලබන 5 වෙනිදා වත්, ජනතාව අපෙන් බලාපොරොත්තු වන ජයග‍්‍රහණය ලබලා දෙන්න තීන්දුවක් ගනීවි කියලා අපි හිතනවා. ඒක තමයි ජනතාව ඉල්ලන්නේ. ඇත්ත වශයෙන්ම මේ අයවැයෙන් ජනතාවට වැඩක් නෑ. 

 ප‍්‍රශ්නය - කාටවත් වැඩක් නැති අය වැයක් ගෙනල්ල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයේ උපකාරයෙන් එම අයවැය සාර්ථක කරගන්නට උත්සාහ දරන වෙලාවක, ඒ සඳහා ඔවුන්ට හැකියාව තිබෙද්දී ඔබ සැම ඒකාබද්ධ විපක්ෂය හැටියට එකතුවී අයවැයට විරුද්ධව ඡන්දය දීලා කරන සටනෙන් ඇති වැඩක් නැහැ කියලයි අපට නම් දැනෙන්නේ...?

 පිළිතුර - ඔබට ඔහොම හිතන්න කාරණා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා එකතු වෙලා මහා සමගියක් ගොඩනඟාගෙන ජනතාවට අවශ්‍ය ජයග‍්‍රහණ ගේන්න කටයුතු කරමින් සිටියදී අසමගිකම් හා අනවබෝධයන් තුළ පුංචි පුංචි විරසකයන් ඇතිවුණත් ඒ විරසකයන් දික්කසාදයකින් කෙළවර නොවේවි කියලා මම විශ්වාස කරනවා. මම ඒ ගැන ජනතාවට සහතිකයක් දෙනවා.... බයවෙන්න එපා මේ කසාදේ දික්කසාදයක් දක්වා යන්නෙ නෑ.. ඒ වගේම මම කියනවා අපේ පක්ෂය මේ වගේ ඔලමොට්ටල අමන තීන්දු ගත්තේ රනිල්ගේ ආණ්ඩුවේ ඉඳලා අකැමැත්තෙන් එළියට ඇවිල්ල තවමත් තමන්ගේ ඇමැතිධුර හා වරප‍්‍රසාද අහිමි වීමේ ශෝකයෙන් පෙළෙන එක්කෙනෙක් දෙන්නෙක් ගේ වුවමනාවවට හා අපේ පක්ෂය පිටිපස්සේ දොරෙන් සිරිකොතට අරගෙන ගිහිල්ලා හදන්න හදන බටහිර ගැති ඊනියා එකමුතුවේ කොටස්කාරයෝ බවට පත්වෙන්ට ඉන්න කීප දෙනෙක්ගේ වුවමනාවට. ඒ ගොල්ල තමයි විටින් විට ගිහිල්ලා ජනාධිපතිතුමාගේ අවුල් කරන්නේ. රනිල් වික‍්‍රමසිංහ සැලසුම් කරපු මහා බොරුවකට මුවා වෙලා මේ ගොල්ලෝ ගිහින් ජනාධිපතිතුමාගේ ඔළුව විකාර කළා.

 ප‍්‍රශ්නය - මොකක්ද රනිල් වික‍්‍රමසිංහ සැලසුම් කරපු මහා බොරුව..?

 පිළිතුර - ඇයි මතක නැද්ද ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරනවා කියලා මේගොල්ල නටාපු විකාරය. ඒක අලි බොරුවක් නේ. තනිකරම ඒක රනිල් වික‍්‍රමසිංහ පිටපත ලියලා අධ්‍යක්ෂණය කරපු නාට්‍යයක්. රනිල් ඒක ලස්සනට රඟපෑවා පාර්ලිමේන්තුව ඇතුළේ පසුපෙළ මන්ත‍්‍රීවරුන්ව දමලා. මොන රටේද ආණ්ඩුවේ අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා ආණ්ඩුවේ නායකයා වන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කරන්න වැඩ කරන්නේ. එහෙම පරාද කරාම අයවැය ඉවරනේ. ආණ්ඩුව අස්ථාවරයිනේ. එහෙම රටකට කවුද ණය දෙන්නේ. කවුද ආයෝජන ගේන්නේ. 

 ප‍්‍රශ්නය - ඇයි රනිල් වික‍්‍රමසිංහ ඒ වගේ නාට්‍යයක් රඟ පාන්නේ. මොකක්ද එකෙන් තියෙන ප‍්‍රයෝජනය එයාට..?

 පිළිතුර - මොකද ප‍්‍රයෝජනයක් නැත්තේ. හොඳට හිතලා බලන්න... මෙතන ප‍්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රිටන් එකක් දීම. මතකයිනෙ පහුගිය දවසක මෛත‍්‍රී වික‍්‍රමසිංහ නෝනත් ළඟ තියාගෙන ජනාධිපතිතුමා රනිල් වික‍්‍රමසිංහගේ රෙදි ගැලවිලා යන්න කතාවක් කරපු හැටි. අන්න ඒකට හිතාමතාම දීපු රිටර්න් එකක් තමයි මේ. අනිත් එක අපේ කේවට්ටයෝ ටිකක්ම යොදාගෙන මෛත‍්‍රී - මහින්ද සමගිය අවුල් කරන්න කටයුතු කිරීම. ඒ තියෙන වුවමනාව මත තමයි අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න තීරණය කරගෙන හිටපු අපේ පක්ෂයෙ මතය රනිල් වික‍්‍රමසිංහ විසින් තමන්ගෙ ගෝලයො දම්මලා ජනාධිපති තුමාගේ ඔළුව විකාර කරවලා වෙනස් කෙරෙව්වේ. අන්න ඒ වෙලාවෙදි අවසානයේ අපි හතර දෙනා තමයි රටේ ජනතාව වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය හා ගෞරවය ආරක්ෂා කළේ. එහෙම නැතුව ඔය ඇඳ යට හැංගුන උන් නෙමෙයි.

 ප‍්‍රශ්නය - ඔබ කිව්වා ජනාධිපතිතුමාගේ ඔළුව අවුල් කරන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ඉඳන් කටයුතු කරන කීපදෙනෙක්ය කියලා. සරත් අමුණුගම, මහින්ද සමරසිංහ වගේ අය ගත්තම ඒ කතාව සාධාරණයි කියලා අපිට ඇෙඟනවා. ඔබේ චෝදනාව දයාසිරි ජයසේකරටත් අදාළ ද කියලා අහන්න කැමතියි..?

 අපේ පක්ෂයේ මහ මහලේකම් තනතුරු වලට පත්වෙච්ච චරිත දිහා බැලූවම ඔවුන් මහ ලේකම් කමට එන්න පෙර හිටපු චරිතය නොවෙයි ඊට පස්සේ ඉන්නේ.. මම නම් කියන්න කැමති නැහැ... ලේකම් වෙන්න කලින් ඉතාම සටන්කාමී ප‍්‍රගතිශීලි මාර පොරවල්. ඒ හැමෝටම තනතුරු ලැබුණට පස්සේ මොකක්ද වුණා. සමහරු අන්ත ප‍්‍රතිගාමියො වුණා. දයාසිරි ජයසේකර මැතිතුමා මේ වතාවේ අය-වැය සම්බන්ධයෙන් තීන්දු ගනිද්දී ඇඳයට හැංගුණ කණ්ඩායමේ හිටියත් පසුගිය විස්වාසභංගය වෙලාවෙදි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව විශාල සටනක් කරපු නායකයෙක්. ඒ ගෞරවය එතුමට දෙන්න එපාය. එතුමා එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කාලෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කාලෙත් නායකයා වැරැද්දක් කරනකොට ඒක බය නැතිව කතා කරපු කෙනෙක්. එතුමා තරුණයෙක්. හොඳ තරුණ ජවයක් තියෙනවා. සටන්කාමී තරුණ නායකයෙක් විදියට එතුමට මේ වතාවෙ යුතුකමක් තිබුණා නායකයා වෙන කාගේ හරි කීමට වැරදි ක‍්‍රියා මාර්ගයක් ගන්නකොට ඒක නිවැරදි කරන්න ඉදිරිපත් වෙන්න. නමුත් එතුමා එක කළේ නැහැ. එහෙම වෙනකොට ජනතාව තුළ සැක සංකා මතු වෙනවා දයාසිරි ජයසේකර මැතිතුමා පිළිබඳවත් එතුමා එක්සත් ජාතික පක්ෂයේත් ඉඳලා මේ පැත්තට ආපු කෙනෙක් හැටියට එජාපයේ වුවමනාවන් ඉටු කරනවා කියලා. මම කියන්නේ ඒ සිතුවිල්ල සාධාරණ නෑ. ජනතාවට ඒක එහෙම නෙවෙයි, මම එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නන්න දැන් අවස්ථාවක් එනවා ලබන අපේ‍්‍රල් 5 වැනිදා.

 ප‍්‍රශ්නය - ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ඇතිව අයවැයට විරුද්ධව ඡන්දය දුන්නත් අයවැය පරාද කරලා ලොකු වෙනසක් ඇති කරන්න බැහැනේ.... තාර්කිකව ගත්තොත් එහෙමනම් මේ සටනින් ඇති ප‍්‍රයෝජනයක් නැහැ..?

 පිළිතුර - මම හිතනවා ඔබ ඉන්න මතය වැරැදියි. ඒ මොකද මෙතන ගණන් මිනුම් ටික එකතු කරල බලන්නකෝ. යූ. ඇන්. පී එක අයවැයේදී ටී. එන්. ඒ. එකේ සහයෝගය අරගෙනත් ලබා ගත්තේ 119 යි. එතනිනුත් ටී. එන්. ඒ. එකේ 15 දෙනා අඩු කරල බලන්නකෝ කීයද ඉතුරු වෙන්නෙ කියලා. 104යි. ඒ වෙනකොට අපට තියෙනවා 76ක්. 24 දෙනෙක් එදා ආවෙ නෑ. අර හැංගිලා හිටපු කට්ටිය. ඒගොල්ලොත් අපිට එකතු වුනා නම් අපි 100 වෙනවා. ආණ්ඩුවට 104 යි විපක්ෂයට 100යි කියලා කියන්නේ එතනින්ම ආණ්ඩුව පරාදයි නේ. ඒ ගොල්ල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාද කළේ පසුගියදා ආසන 113 ක් ඡන්ද තියෙනවා කියලනේ පිරිසුදුවම. කෝ ඔය කියන 113. ආණ්ඩුවට 104 ඉන්නේ කියනකොට විලි ලැජ්ජයි නේ කතා කරන්න ඒ ගැන....

 ප‍්‍රශ්නය - මට නම් එහෙම ලැජ්ජාවක් පේන්න නැහැ... මොකද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරක කියන 24 දෙනා ඇතුළත ඉන්නවනෙ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්නත් බලාගෙන ඉන්න කිහිප දෙනෙක්. 

 පිළිතුර - ඔබ ගණන් හදන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන අය ගැන විතරද. ආණ්ඩුවෙන් කලකිරිලා විපක්ෂයට එන අය ගැන ගණන් හැදිල්ලක් නැද්ද.... මම මේ කාරණාව ගැන කියන්න ඕන. දෙමළ ජාතික සන්ධානය මේ අයවැයේදී එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්නේ නිකන් නෙමෙයි. ඒගොල්ලන්ට ලොකු දේශපාලන අල්ලසක් දීලා තියෙනවා. 
 -දිවයින පුවත්පත
 සාකච්ඡා කළේ - බුලිත ප‍්‍රදීප් කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad