ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 23, 2019

ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි

ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම යෝජනාව නිල වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.

නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය දා පියවර ගත් අතර, ඉන් නොනැවතී උතුම් ත්‍රිපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ‍්‍රී ලාංකිකයන් වන අප සතු බවයි.

ලෝකයේ ඇති විශාල වූත්, ග‍්‍රන්ථාරූඩ වූත් ඥාන සුමදාය වන ත්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප‍්‍රකාශයට පත් වන තුරු ම එය රැකගත්තේ ශ‍්‍රී ලාංකේය මහා සංඝරත්නය බව පැවසූ ජනාධිපතිවරයා යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මෙම අප‍්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමගින් හිමිකාරිත්වය, භාරකාරිත්වය පිළිබඳව ශ‍්‍රී ලංකාව ලෝකයේ ම පිළිගැනීමට ලක්වීමේ අවස්ථාව උදාවීම බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුමන අන්දමේ විරුද්ධ අදහස් සහ අභියෝග එල්ල වුවද උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කිරීමට තැබූ පියවර සාර්ථකව ඉදිරියට තබන බවයි.

මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළ මහා නා හිමිවරුන් පෙන්වා දුන්නේ උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් පියවර සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේ ම පැසසුමට ලක්වන බවයි.

ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක  අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු ගෞරවණිය මහා සංඝරත්නය ද, ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය, යුනෙස්කෝ සංවිධානය ඇතුලූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් ආයතනවල නියෝජිතවරුන්  සහ විදේශීය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් ද,  ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad