"බදු සහන දී ආර්ථිකය පණ ගන්වන්නේ මෙහෙමයි,රුපියල ශක්තිමත් කර ආර්ථිකය වර්ධනය කරනවා."- අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 1, 2019

"බදු සහන දී ආර්ථිකය පණ ගන්වන්නේ මෙහෙමයි,රුපියල ශක්තිමත් කර ආර්ථිකය වර්ධනය කරනවා."- අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල්

මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයා ලෙස පත්ව සිටී. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු බිහි වූ නව රජයට පසුගිය යහපාලන රජයෙන් උරුම වූ ආර්ථිකයේ තත්ත්වය ගැනත්, පසුගියදා රජය විසින් ලබා දුන් බදු සහන පිළිබඳව සහ එම බදු සහන නිසා රජයට නොලැබෙන බදු ආදායමට රජය මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවත් අපි කබ්රාල් මහතාගෙන් ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට අජිත් නිවාඞ් කබ්රාල් මහතා ලබා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය - ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ජයග‍්‍රහණයෙන් පසු බිහි වූ නව රජයට පසුගිය යහපාලන රජයෙන් උරුම වූ ආර්ථිකය පිළිබඳ ඔබගේ තක්සේරුව කුමක්ද?

පිළිතුර - 2015 වසරේ මුලදී යහපාලන රජය රට භාර ගනිද්දී තිබුණු ආර්ථිකයට සාපේක්ෂව අද අපේ රටේ ආර්ථිකය තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයකයි. ඒක අපි හැමෝම දන්නවා. ආර්ථිකයේ විවිධ අංශ ගත්තොත් සෑම පැත්තකින්ම ආර්ථිකය දුර්වල වෙලා. එනම් රටේ මුර්ත ආර්ථිකය, බාහිර අංශය, මුදල් අංශය, රාජ්‍ය අංශය සහ මුල්‍ය පද්ධතිය අද සෑම පැත්තකින්ම දුර්වල වෙලා. මේ නිසාම ආර්ථිකය පිළිබඳව විදෙස් ආයෝජකයන්ගේ පමණක් නෙවෙයි මේ රටේ ආයෝජකයන්ගේත් ජනතාවගේත් විශ්වාසය නැති වෙලා තියෙන ආර්ථිකයක් තමයි අවසානයේදී මේ රජයට ලැබුණේ.

ආර්ථිකයේ විවිධ අංශ වගේම ආර්ථික දර්ශක ගතහොත් ඒ හැම එකක්ම අහිතකර තත්ත්වයට පත් වෙලා. මේ අනුව සියලූම පොලී අනුපාත දෙගුණ වෙලා තියෙනවා. විදේශ සංචිත වර්තමානයේදී තිබිය යුතු මට්ටම මෙන් හරි අඩකට පමණ අඩු වෙලා. ආර්ථික වර්ධන වේගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ආසියාවේ රටවල් අතරින් ඉහළම මට්ටමක තිබුණා. එහෙත් අද එය තිබෙන්නේ දකුණු ආසියාතික රටවල් අතරින් ඉතා අවම මට්ටමේ. රාජ්‍ය අංශයත් දැවැන්ත කඩා වැටීමකට ලක් වෙලා. ආයෝජකයෝ මේ රටට එන්නෙම නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබුණේ. වර්ධනයක් තිබුණු එකම අංශය සංචාරක අංශය. එයත් පාස්කු ප‍්‍රහාරයෙන් පසුව කඩා වැටුණා. ව්‍යාපාර දහස් ගණනින් වැසී ගියා. බැංකු සහ මූල්‍ය ආයතනවල තිබුණු අක‍්‍රීය ණය ප‍්‍රමාණය හොඳටම වැඩි වෙලා. රජයේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 100 කට කිට්ටුවට ඇවිත්. රුපියල හොඳටම කඩා වැටිලා ඇමරිකානු ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ගණන රුපියල් 182 ත් ඉක්මවා ගියා. මේ රුපියල පිරිහීම නිසා පමණක් පසුගිය වසර හතර තුළදී රටේ ණයබරතාවය රු. බිලියන 1760 කින් ඉහළ ගියා. බදු ව්‍යහය සහ බදු ප‍්‍රතිපත්තිය සංකීර්ණ වෙලා. විවිධ නම් වලින් ජනතාව මත බදු පැනෙව්වා. තිබුණු බදු බර දෙගුණ වුණා. ජීවන වියදමත් දරන්නට අපහසු මට්ටමකට ඉහළ ගියා, උද්ධමනයත් දෙගුණ වුණා.

ඒවගේම ගොවීන්, මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් බොහෝ දෙනෙක් විනාශ වුණා. බොහෝ ව්‍යාපාර වැසී ගියා. තවදුරටත් ඔවුන්ට ණයක්වත් ගන්න නොහැකි වන ලෙස මේ බොහෝ දෙනෙක්ගේ නම් ‘ක‍්‍රිබ්’ එකට ගිහින් ණය පැහැර හරින්නන් ලෙස. එදා නැගීගෙන ආපු දේශීය කොන්ත‍්‍රාත්කරුවන් බොහෝ දෙනෙක් බංකොළොත් වුණා. දුප්පත් අයට දෙන සහනාධාර වගේම සහන ණය ක‍්‍රමත් දේශපාලනීකරණයට ලක් වුණා. මෙලෙස ආර්ථිකයේ හැම අංශයක්ම අහිතර වීමට බැඳුම්කර වංචාවත් හේතු වුණා. එය මුළු ආර්ථිකයටම අහිතකර ලෙස බලපාපු එකක්. ඒ වංචාව කරලා එය වසං කිරීමට ගත හැකි සියලූම ක‍්‍රියාමාර්ග ගත්තා. එෆ්සීඅයිඞී වැනි ආයතන නිසා රාජ්‍ය අංශයත් අකර්මන්‍ය වුණා. මෙලෙස හැම අතින්ම වැටුණු ඉදිරියට නොයා සිර වුණු ආර්ථිකයක් තමයි නව රජයට ලැබී තිබෙන්නේ.

ප‍්‍රශ්නය - ඔබ නව රජයට ලැබුණු අහිතකර ආර්ථික තත්ත්වය ගැන කිව්වා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල හමුවේදීම වැට් බද්ද සියයට 8 ට අඩු කරලා තවත් බදු සහන රැසක් දුන්නා. මෙහි අරමුණ කුමක්ද ?

පිළිතුර - මෙතන මූලික ප‍්‍රශ්නය තමයි අපේ රටේ ආර්ථිකය හිර වෙලා තියෙන්නේ. ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. ආර්ථිකය විශ්වාසයක් නැතිව ගමනක් යන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. එහෙම තත්ත්වයක් පවතින විට එකම එක ක‍්‍රමයයි තියෙන්නේ ආර්ථිකය ගොඩ ගන්නට අවශ්‍ය නම්. ඒ සඳහා ආර්ථිකයට අලූත් ගැම්මක් දෙන්න ඕන. ආර්ථිකයට සුබවාදී යම් කම්පනයක් දෙන්නට ඕන. එතකොට තමයි ආර්ථිකය නැවත වතාවක් නැගිටින්නේ. ඒවා විවිධ ආකාරයට දෙන්න පුළුවන්. එක ක‍්‍රමයක් තමයි බදු සහන ලබා දීම සහ බදු අඩු කිරීම. මෙහිදී බදු අඩු කිරීම ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද තිබුණු රජය මේ බදු ප‍්‍රමාණය වැඩි කරගෙන, වැඩිකරගෙන ගිහින් බදු වලින් අද මිනිස්සු මිරිකිලා ඉන්නේ. ඒ නිසා කිසිම කෙනෙක් ආයෝජනය කරන්නේ නැහැ. බොහෝ අයට තමන්ගේ ව්‍යාපාරය හරියට කරගන්න බැරි තත්ත්වයට සහ ණයක් ගන්න බැරි තත්ත්වයට ඇවිත් තියෙනවා. මේ නිසා ව්‍යාපාර කඩා වැටිලා තියෙන්නේ. මේ අයට බදු සහන හරහා අපි කිසියම් ගැම්මක් ලබා දෙනවා. මේ නිසා ඒ අයට වගේම ජනතාවටත් අතේ මුදල් ඉතුරු වෙනවා. එවිට ඒ අයත් ගිහින් වියදම් කරනවා. වියදම් කරලා අලූතින් ව්‍යාපාර කරනවා, ඉදිකිරීම් කරනවා. මිලදී ගැනීම් කරනවා. යම් කෙනෙකුගේ වියදම තමයි තව කෙනෙකුගේ ආදායම වෙන්නේ. එහෙම ආදායමක් අපි අද නිර්මාණය කර ගන්න අවශ්‍යයි. ඒ සඳහා තමයි බදු අඩු කිරීමක් කෙරුවේ.

ප‍්‍රශ්නය - බදු අඩු කිරීමෙන් අඩු වන රාජ්‍ය අදායම් පියවා ගන්නේ කෙසේද

පිළිතුර - මේ බදු අඩු කෙරුවේ හුදෙකලාව නෙවෙයි. මෙහි තවත් දේවල් තියෙනවා. අපි පසුගියදා බැංකු කැඳෙව්වා. ඔවුන්ට කිව්වා සියලූම ගනුදෙනු කරුවන්ට තමන්ගේ අමාරු තත්ත්වයක් තියෙනවනම් ඒ අයගේ ප‍්‍රාග්ධනය අය කර ගන්නේ නැතුව පොලිය පමණක් ලබාගන්න කියල.

ප‍්‍රශ්නය - ඒ කොපමණ කාලයක් සඳහාද ?

පිළිතුර - මාස 18 ක පමණ කාලයක්. එතකොට ඒ අයට ඒ මුදල් ඉතුරු වන නිසා ඒ අයගේ ව්‍යාපාර තවත් සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒ තත්ත්වයක් දැන් නිර්මාණය කරගෙන යනවා. ඒ සමගම අපි තවත් කරන්න යනවා පොලී අනුපාතය අඩු කිරීමට. පොලී අනුපාතය ඉතාම ඉහළ මට්ටමකට ඇවිත් තියෙනවා කිසිම කෙනෙකුට මුල්‍ය ආයතනයකින් තමන්ගේ වැඩ කටයුත්තක් කරගන්න බැරි තරමට. අපි නැවත වරක් ක‍්‍රමයෙන් පොලී අනුපාතය අඩු කර ගැනීමේ ඉදිරි සති කීපය තුළදී දියත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ එකත් තමයි විශේෂයෙන්ම අපේ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් කෙරෙහි විදේශීය මුදල් ආකර්ෂණය වෙන විදියට අපි කටයුතු කරන්න යනවා. ඒ අයට ගිහින් අපි කියනවා නැවත වරක් ශ‍්‍රී ලංකාවේ දේශපාලනික ස්ථාවරත්වය තියෙනවා. ජාතික ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය තියෙනවා. ඒ නිසා අප රටට ඇවිත් ආයෝජනය කරන්න කියලා ඒ අයට අපි කියනවා.
හේතුව 2014 අග වන විට අපේ භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත්වල ඇමරිකානු ඩොලර් මිලියන 3400 ක් තිබුණා ඒ අය මෙහෙ ආයෝජනය කරලා. අද ඒක අඩු වෙලා තියෙනවා මිලියන 600 ට. ඒක ඇත්තටම දැවැන්ත කඩා වැටීමක්. ඒ කඩා වැටීම 2018 දී පමණක් ඇමෙරිකානු ඩොලර් මිලියන් 1000 ක් අඩු වෙන විට රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 30 කින් පිරිහුණා. මේ තත්ත්වය ක‍්‍රමයෙන් හරවන්න ඕන. මෙහෙම ඉතාම ඉහළ රුපියල් අගයක් තියෙනකොට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ ණය ප‍්‍රමාණය දැවැන්ත ලෙස වැඩි වෙලා තියෙනවා. පසුගිය හතරේදී පමණක් අපේ රටේ රුපියලේ කඩා වැටීම නිසා අපේ ණය ප‍්‍රමාණයට රු. බිලියන 1760 ක් එකතු වුණා. ඒ වගේ තත්ත්වයක් අපට උහුලන්න බෑ. ඒ නිසා මේක නැවත වරක් යථා තත්ත්වයට පත් කරන්න ඕන. ඒ සඳහා නැවත වරක් අපි ඇමරිකානු ඩොලර් වලින් අපේ බැඳුම්කරවල ආයෝජනයක් ඇති කරවල ඒ තුළින් රුපියල නැවත වතාවක් ශක්තිමත් කරගන්න ඕන. එතකොට අපේ ණය ප‍්‍රමාණයත් අඩු වෙනවා. ඒ සමගම ආර්ථිකය කෙරෙහි ගැම්මක් ඇති වෙනකොට පොලී අනුපාතය ක‍්‍රමක් ක‍්‍රමයෙන් අඩු වෙන්න ඕන. පොලී අනුපාතය ක‍්‍රමයෙන් අඩු වෙනකොට රජයට ණය සඳහා ගෙවීමට තිබෙන මුදල එනම් ණය සේවාකරණ වියදම් අඩු වෙනවා. එවිට විශාල මුදල් ප‍්‍රමාණයක් ඉතිරි වෙනවා. මම හිතන්නේ එක වසරකට ටි‍්‍රලියන එකහමාරක් දෙකක් විතර නැවත සමනය කර ගන්න පුළුවන් වෙනවා බැදුම්කර සහ බිල්පත්වල. එතැනදී සියයට දෙකක් අඩු වෙනවා කියන්නේ ඉතා විශාල මුදල් ප‍්‍රමාණයක් අපට ඉතුරු වෙනවා. ඒ නිසා අර බදු අඩු කිරීමෙන් රජයට අහිමි වන ආදායම ඉතාම ඉක්මණින් අපට මේ පැත්තෙන් ලබා ගන්න පුළුවන්. එතකොට අපේ අයවැය හිඟය පරතරය නැවත වතාවක් තිබුණු ප‍්‍රමාණයටම එනවා කියන එකයි අපේ හැඟීම.

රුපියල ශක්තිමත් කර ගැනීම පොලී අනුපාතය අඩු කර ගැනීම වගේම තවත් වැදගත් දෙයක් තියෙනවා. එනම් මෙහෙම සිදුවෙනකොට අපේ රටේ ආර්ථිකය නැවත වරක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. සියයට 6 ක වර්ධන වේගයක් අපට ඉලක්ක කරන්න පුළුවන් අපට 2020 දී. මේ අය හිතාගෙන හිටියේ සියයට 3ක් ගන්න. ඒත් සියයට 3න් අපට මේ රට ගෙනියන්න බැහැ.

ප‍්‍රශ්නය - ලබන වසරේදී සියයට 6 ක් ආර්ථික වර්ධනයකට යන්න පුළුවන්ද?

පිළිතුර - පුළුවන්. මේ ක‍්‍රමවේදයන් අනුව අපි ලබන අවුරුද්දේ ඉලක්ක කරගෙන ඉන්නේ සියයට 6 ක් හෝ 6.5 කට යන්න. ඒක අනිවාර්යෙන්ම කරන්න පුළුවන්. අපි දැන් දාන අඩිතාලම අනුව. මූල්‍ය අරමුදල වර්ධන අගයක් කිව්වට අපි මූල්‍ය අරමුදලට හිර වෙන්න ඕන නැහැ. අපි බලන්න ඕන අපේ ශක්තීන් මොනවද කියල. මේ වසර ඉවරයි. අපි මේ අඩිතාලම දාන්නේ 2020 ට.

-දිවයින පුවත්පත.
 

No comments:

Post a Comment

Post Bottom Ad