gotabaya rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 31, 2020

gotabaya rajapaksa

කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමග අද (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙසේ උපදෙස් දෙනු ලැබීය.

කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙයි.  වෛරසය  පැතිරයාම වළක්වා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවී තිබේ. පූර්ණ කැපවීමෙන් ඊට සහාය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිතුමාගේ ප්‍රසාදය පළ කෙරිණ. ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත්, චීනයේ සිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග ජනාධිපතිතුමාගේ විමසුමට ලක් විය.

වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිතුමා සංචාරක කර්මාන්තය  ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.

රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, අරුන්දික ප්‍රනාන්දු යන ඇමතිවරු සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිණිය ප්‍රමුඛ නිලධාරිහු සාකච්ඡාවට එක්ව සිටියහ.

– මොහාන් කරුණාරත්න


No comments:

Post a Comment

Post Bottom Ad