මතට එරෙහි මානුෂීය සංග්‍රාමය ආරම්භ වී ඇත. දශක කිහිපයක් රටම මත් කළ මත් රකුසාට එරෙහි මෙහෙයුම් සාර්ථකව ක්‍රියාත්මක වන බව ද පෙනේ. ගොඩබිම පමණක් නොව, මත්ද්‍රව්‍ය වැටලීම් මහ මුහුදේ ද අති සාර්ථක ලෙස සිද්ධ වෙමින් තිබෙන බව පසුගිය දිනවල මුළු ලෝකයටම ප්‍රසිද්ධ විය. ඒ මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගය සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා දැලට කොටු කරගැනීමෙනි. මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එකාබද්ධව සිදුකළ එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වී ඇති මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි හයසියයකට ආසන්න බව ද වාර්තා වේ.
ඇෆ්ගනිස්ථානයේ සිට රැගෙන ආ බවට සැකකෙරෙන මෙම මත්ද්‍රව්‍ය තොගය රැගත් ඉරානයට අයත් බහුදින යාත්‍රා මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇත්තේ පසුගිය මස 28 වැනිදාය. පසුව මහ මුහුද මැද මෙරට ධීවර බෝට්ටු දෙකකට මාරු කර එම බෝට්ටු දෙක දකුණු මුහුදු සීමාව ඔස්සේ ගොඩබිම බලා යාත්‍රා කරමින් සිටියදී කුඩාවැල්ල මුහුදු තීරයේදී එම යාත්‍රා දෙක නාවික හමුදා භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු බණ්ඩාර මහතා අප සමඟ පැවසීය.
‘‘මාසයකට ආසන්න කාලයක ඉඳලා කරගෙන ගිය මෙහෙයුමක සාර්ථක ඵල නෙළා ගැනීමක්. ඒ වගේම ඒ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් මූලික තොරතුරු ලැබුණේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන්. එම තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙමින් මත්ද්‍රව්‍ය තොගය රැගෙන එන බෝට්ටු අත්අඩංගුවට ගන්න අපි සැලසුම් සකස් කළා. පසුව නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාකශ කාර්යාංශ නිලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කරමින් පසුගිය 1 වැනිදා කුඩාවැල්ල මුහුදු තීරයේදී එක බෝට්ටුවක් අත්අඩංගුවට ගත්තා...’’
‘‘ඒ බෝට්ටුවේ කාන්තාවක් ඇතුළුව පස්දෙනෙක් හිටියා. බෝට්ටුව තුළ හොඳින් පරීක්ෂා කරලා බලනකොට හර්බල් ටී විදිහට රතුපාට බෑග්වල ඇසුරුම් කරපු හෙරොයින් කිලෝ හැත්තෑ හතරක් සොයාගත්තා. විනිවිද පෙනෙන ප්ලාස්ටික් පෙට්ටිවල අසුරා තිබුණු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 66 ක් සොයාගත්තා. අපේ රටේදී අත්අඩංගුවට ගත් විශාලම අයිස් මත්ද්‍රව්‍ය තොගය...’’ සාර්ථක නාවික හමුදා මෙහෙයුමකින් පසු මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගත් ආකාරය ගැන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු බණ්ඩාර මහතා අභිමානයෙන් යුක්තව කතා කළේය. එමෙන්ම මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් බහුදින ධීවර යාත්‍රාව තංගල්ල ප්‍රදේශයේ යාත්‍රාවක් බවත්, මත්ද්‍රව්‍ය තොගයත් සමඟ අත්අඩංගුවට පත් සිව් දෙනකු ධීවරයන් වන අතර කාන්තාව සහ අනෙක් පුද්ගලයා පැමිණ ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය භාරගැනීමට බවත් අනාවරණය විය.
මත්ද්‍රව්‍ය තොගයත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු සමඟ ධීවර බෝට්ටුවට මත්ද්‍රව ලබාදුන් යාත්‍රා කොටුකර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරිණි. අනාවරණය කර ගත් තොරතුරුවලට අනුව අදාළ යාත්‍රා නිරීක්ෂණය කරමින් සිටින අතරේ ලියාපදිංචි රටේ ජාතික කොඩි නැති යාත්‍රා දෙකක් දෙසට නාවික හමුදාවේ උකුසු ඇස් පියාසර කෙරිණි. ජාතික අනන්‍යතාව තහවුරු කිරීමට නොහැකි ඕනෑම යාත්‍රාවක් ලෝකයේ ඕනෑම නාවික හමුදාවකට පරීක්ෂා කළ හැකිය. ජාත්‍යන්තර නීති ප්‍රකාරව ජාතික කොඩි නැති කල්ලතෝනි යාත්‍රා දෙක නාවික හමුදාවේ පරීක්ෂාවට බ`දුන් විය. සැකය තහවුරු විය. එම යාත්‍රා දෙකේ තිබී හෙරොයින් කියා සැකකරන මත්ද්‍රව්‍ය පැකට් තුන්සිය විසි නවයක් සහ අයිස් කියා සැකකරන මත්ද්‍රව්‍ය පැකට් පනහක් නාවිකා හමුදා භාරයට ගෙන තිබිණි. එමෙන්ම එම යාත්‍රාවල ගමන් කරමින් සිටි ඉරාන ජාතිකයන් දහහතරදෙනකු සහ පාකිස්තාන ජාතිකයන් සිව්දෙනකු ද නාවික හමුදා භාරගෙන තිබිණි.
‘‘සැකකරන හෙරොයින් තොගය මත් කුඩු කියලා තහවුරු වුණොත් කිලෝ තුන්සිය තිහක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ හැට පහකට වැඩි ප්‍රමාණයක් තියෙනවා. අවස්ථා දෙකේදීම අත්අඩංගුවට පත් සම්පූර්ණ හෙරොයින් ප්‍රමාණය කිලෝ 450 ට ආසන්නයි. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 130 ට ආසන්න වෙනවා. සම්පූර්ණ වටිනාකම රුපියල් කෝටි හයසියයකට ආසන්න වෙනවා. ඒත් මේ මත්ද්‍රව්‍ය තොගය නීත්‍යනුකූලව සනාථ කිරීමට නියමිතයි. වැඩිදුර විමර්ශන කටයුතුවලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව කුඩාවැල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවයි, සමකයට ආසන්න ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් යාත්‍රා දෙක අතර සන්නිවේදන කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම විදේශීය රටක සිටින පුද්ගලයෙක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මේ යාත්‍රා මෙහෙයවා ඇති බවටත් තොරතුරු අනාවරණය වෙනවා. මේ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මෙරට, පිටරට සිටින සියලූ දෙනා නීතිය හමුවට ගෙන ඒමට මේ වන විටත් පරීක්ෂණ කටයුතු කරගෙන යනවා...’’
එල්.ටී.ටි.ඊ. ත්රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමෙන් පසු නාවික හමුදාව විසින් සිදුකර ඇති දැවැන්තම නාවික මෙහෙයුම මේ මත්ද්‍රව්‍ය වැටලීම වේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාලයක කොටසක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව ලෙස මේ මත්ද්‍රව්‍ය වැටලීම ඉතිහාසගත වන්නේය. මේ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීම ගැන රටක් වශයෙන් අප ආඩම්බර විය යුතුය. එමෙන්ම ලෝකයේ දියුණු රටවල නාවික හමුදාවට මෙන් දියුණු තාක්ෂණය නැති මුත් තියෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට පළපුරුදු නාවික හමුදාවක් අප සතු බව මේ මත්ද්‍රව්‍ය මෙහෙයුමෙන් ලෝකයට සනාථ කර ඇති බව ද සැබෑය.
‘‘කිලෝ මීටර් දහකට වැඩි ජාත්‍යන්තර මුහුදට ගිහින් තමයි මේ යාත්‍රා දෙක අත්අඩංගුවට ගත්තේ. මේක ගොඩබිමේ කරන මෙහෙයුමක් වගේ පහසු නෑ. කොහෙන්, කොහොම පටන් ගන්නද කියලා නිවැරැදිව සැලසුම් කරගන්න ඕනෑ. ඉන්දිය නාවික හමුදාවේ, ඔස්ටේ්රලියා, ඇමෙරිකා නාවික හමුදාව සමඟ සුහදව වැඩ කටයුතු කරගෙන යමින් ඔවුන්ගෙන් තොරතුරු ලබාගෙන සැලසුම්සහගතව වැටලීම සිද්ධ කළා. මේ වැටලීම විතරක් නෙමෙයි මුහුදු මාර්ග ඔස්සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රාශියක් අපි අනාවරණය කරගෙන තියෙනවා. බහුල වශයෙන් මත්ද්‍රව්‍ය රැගෙන එන රටවල්, ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය තොගවල අයිතිකරුවන්, රට තුළට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන පුද්ගලයන් ගැන හොඳ දැනුවත් බවක් අපිට තියෙනවා. නාවික යාත්‍රාවල මත්ද්‍රව්‍ය තොග සඟවාගෙන එන ආකාරය ගැන අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ජාත්‍යන්තරයෙන් ලැබෙන තොරතුරු සහ දීර්ඝ කාලීන පළපුරුද්ද සමඟ අපේ නාවික හමුදාවට දැන් හොඳ ඉවක් තියෙනවා. මෙරට මුහුදු සීමාවේ කොතැනක ජාවාරමක් සිද්ධ වුණත් අපිට දැකබලාගන්න තාක්ෂණය තියෙනවා. ඒ නිසා මුහුදු මාර්ග ඔස්සේ සිදු කරන කිසිදු ජාවාරමකට අපි ඉඩ තියන්නේ නෑ...’’
‘‘2018 අවුරුද්දේ මුහුදේ සිදු කරපු මත්ද්‍රව්‍ය වැටලීම්වලින් හෙරොයින් කිලෝ 729 ක් අත්අඩංගුවට ගත්තා. 2019 අවුරුද්දේ හෙරොයින් කිලෝ 1793 අත්අඩංගුවට ගත්තා. මේ අවුරුද්දේ ගෙවුණු මාස කිහිපයට හෙරොයින් කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. කේරළ ගංජා, බීඩි කොළ ටොන් ගණන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ධීවර යාත්‍රා පතුලේ එල්ලගෙන, බෙ`ද් රහසිගත කුටිවල, මාළුන්ගේ අස්සේ නෙමෙයි ඒ යාත්‍රාවල එන ධීවරයන්ගේ බඬේ දාගෙන ආවත් මත්ද්‍රව්‍ය සොයාගන්න දැන් අපි ළඟ තාක්ෂණය තියෙනවා. ඒ නිසා ධීවර ප්‍රජාවට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මාස ගණන් මුහුදේ ඉඳගෙන ධීවර කර්මාන්තයේ යෙදිලා අස්වැන්න නෙළාගෙන ගොඩබහින ධීවරයන්ගේ මුහුණුයි, හොර බඩු ප්‍රවාහනය කරන යාත්‍රාවල එන ධීවරයන්ගේ මුහුණුයි අපිට හොඳට හුරුයි. ඒ වගේම ධීවර යාත්‍රාවල වී.එම්.එස්. යන්ත්‍ර මොනිටර් කරනවා. පහුගිය දිනවල අත්අඩංගුවට පත් වෙච්ච යාත්‍රාවල වී.එම්.එස්. ඔෆ් කරලා තිබුණේ. විශේෂයෙන්ම වී.එම්.එස්. නැති ධීවර යාත්‍රා ගැන අපි වැඩියෙන් උනන්දු වෙනවා. නාවික නීති නිවැරැදිව ක්‍රියාත්මක වුණා නම් වී.එම්.එස්. ඕෆ් කරගෙන යන්න බෑ. නීතිය ලිහිල් නිසා තමයි ධීවරයන් බය නැතිව මේ වගේ ජාවාරම් කරන්නේ. ඒ නිසා ඉදිරියේදී මුහුදට යන, එන සියලූම ධීවර යාත්‍රා අපිට පරීක්ෂා කරන්න සිදුවෙනවා. එහෙම වුණහම නීත්‍යානුකූලව රස්සාව කරගෙන එන ධීවරයන්ටත් රස්තියාදු වෙන්න වෙනවා. ඒත් අපිට කරන්න දෙයක් නෑ...’’
‘‘දැන් බහුල වශයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ ධීවරයන් විදිහට වෙස් වලාගෙන මුහුදු මාර්ග ඔස්සේ. මේ දේවල් ධීවර ප්‍රජාව අතර හොර රහසේ කරන්නත් බෑ. නිතරම මුහුද සමඟ ගනුදෙනු කරන ධීවරයන් දැනගෙන ඉන්න ඕනෑ. දෙතුන් දෙනෙක් කරන වරදක් නිසා සමස්ත ධීවර ප්‍රජාවටම ගැටලූ මතු වෙනවා. ඒ නිසා මුහුදු මාර්ග ඔස්සේ ජාවාරම් කරන පුද්ගලයන් ගැන රහසිගතව තොරතුරු අනාවරණය කිරීමට ධීවර ප්‍රජාව කටයුතු කරනවා නම් මේ මෙහෙයුමත් ඉක්මනටම ඉවර කරන්න පුළුවන්. ඒ වගේම දැන් කුඩුත් එක්ක අත්අඩංගුවට පත් වුණහම ජීවිත කාලයටම හිරේ ලගින්න වෙනවා. දරුවෝ ගෑනි අනාථයි. කුඩු මුදලාලිලා ඒ පවුල් ගැන බලන්නේ නෑ. ඔන්න ඔය පොඩි සිද්ධාන්තය තේරුම් ගන්න මොළ කළදක් හරි තියෙන කිසිම එකෙක් එක පාරට කෝටිපතියන් වෙන්න යන්නේ නෑ...’’ නාවික හමුදා මාධ්‍ය ප්රකාශකවරයාගේ එඩිතර කතාව ගැන සමස්ත ධීවර ප්‍රජාවම අවධානය යොමු කළ යුතුය. ධීවර මුහුණ පෙන්නාගෙන රටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ජාවාරම්කාරයන් ගැන ධීවර ප්‍රජාව දැනුවත් නම් ඔවුන් පිළිබඳ අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීම ජාතික යුතුකමක් බව අපගේ හැඟීමය.
හිතක් පපුවක් නැති කාලකණ්ණි ජාවාරම්කාරයන් විසින් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍යවලින් මත් වෙන්නේ රට මැද දරුවන් පමණක් නොවේ. වෙරළාසන්න ධීවරයන්ගේ දරුවන් ද මතට හුරු වී කාලකණ්ණි ජීවිත ගත කරන බව රහසක් නොවේ. එහෙයින් ධීවර ප්‍රජාව පමණක් නොව වෙරළාසන්නයේ ජීවත් වන සියලූ වැසියන් මතින් රට මුදාගැනීමේ සටනට හැකි උපරිමයෙන් උදව් උපකාර කළ යුතුය. මේ වන විට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය බහුලව සිදුවන්නේ මුහුදු මාර්ග ඔස්සේ බව ඕනෑවටත් වඩා තොරතුරු අනාවරණය වී ඇත. පාකිස්ථානය, ඉරානය, තමිල්නාඩුවෙන් ට්‍රෝලර් යාත්‍රාවලට පටවාගෙන පැමිණෙන මත්ද්‍රව්‍ය තොග මහ මුහුද මැද දී ඇතැම් ධීවර බෝට්ටුවලට ගොඩබහින බව රහසක් නොවේ. එම මත්ද්‍රව්‍ය තොග ප්‍රවාහනය කිරීම සඳහා සුක්කානම අතට ගෙන සිටින්නේ නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නම ගිය ජාවාරම්කාරයන්ය. පසුගියදා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය සමඟ අත්අඩංගුවට පත් ජාවාරම්කාරයන් පිරිස ද මුහුදු මාර්ග ඔස්සේ හොර බඩු ප්‍රවාහනයට නම ගිය පිරිසකි. එහෙත් දික්වැල්ල, කුඩාවැල්ල, තංගල්ල, බෙලිඅත්ත සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් සහ ඉරාන, පාකිස්තාන ජාතීන් සිදුකර ඇත්තේ කොන්ත්‍රාත්තුවකි. නාවික හමුදා අත්අඩංගුවට පත් විශාල මත්ද්‍රව්‍ය තොගයේ අයිතිකරු ඩුබායි රටේ රජ සැප විඳින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පරීක්ෂණ හමුවේ අනාවරණය වී ඇත. සිරගතව සිටින මහ කුඞ්ඩො කිහිපදෙනෙක්ද මේ මත් කුඩු ප්‍රවාහනයට සම්බන්ධ බව ද අනාවරණය වෙමින් තිබේ.
මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන ලද මේ මත්ද්‍රව්‍ය තොගය ගැන ප්‍රථමයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ බන්ධනාගාරයේ සිටින රැ`දවියන්ගෙනි. ඒ පසුගිය ජනවාරි 25 වැනිදාට ආසන්න දිනකදී ය. එදා සිට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සහ නාවික හමුදාව එක්ව අදාළ මත්ද්‍රව්‍ය තොගය ආරක්ෂක දැලට කොටු කරගැනීමට සැලසුම් සකස් කෙරිණි. එම මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහභාගි වූ සියලූ ආරක්ෂක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය. ඉදිරියටත් මෙරටට ගෙන ඒමට වෑයම් කරන මත්ද්‍රව්‍ය තොග සහ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරු, මෝරු අත්අඩංගුවට ගැනීමට ශක්තිය, ධෛර්ය ලැබේවා කියා ආශිර්වාද කළ යුතුය.
මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැඩි වෙහෙසක් ගත් බව සැබෑය. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද ‘මතට තිත’ අකුරටම කරගෙන යන බව පෙනේ. එහෙත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම ප්රබලය, ශක්තිමත්ය. මතට දැඩි සේ මෙරට වැට බැඳෙන විට ආණ්ඩු පෙරළීමට පවා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මාෆියාව වළිකනවා නියතය. ඒ වෙනුවෙන් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණන් වුවද වියදම් කිරීමට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පසුබට නොවෙති. මත ලෝකයට බෙදීමට මෙරට තොටුපළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එතරම්ම වටින්නේය. විටින් විට මෙරට ගොඩබිමේදී සහ මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් විශාල මත්ද්‍රව්‍ය තොග රැගනැවිත් ඇත්තේ මෙරට පරිභෝජනය සඳහා පමණක් නොවේ, විදේශීය රටවලට ප්‍රති අපනයන කිරීම සඳහා බවට විවාදයක් නැත.
මත ලෝකයට බෙදන වරාය මෙරට බවට පත් කරගෙන දැන් බොහෝ කල්ය. එහෙත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ශක්තිමත්භාවය නිසා එම වරාය බිඳින්නට නොහැකි විය. එහෙයින් මත්ද්‍රව්‍ය ත්රස්තවාදයට එරෙහි මේ කරගෙන යන මතට තිත මෙහෙයුමේදී මෙරට වැසියන් එකම ජාතියක් ලෙස එක මිටට එකතු වී සිටිය යුතුය...
-Divaina.
Sunday, March 8, 2020
කෝටි 600ක කුඩු මලු ගෙනාවේ කවුද,කුඩු ගන්න කාන්තාවකුත් මුහුද මැදට ගිහින්.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment