චම්පිකගේ සියලු හොර වැඩ ළඟදීම හෙළිකරනවා - රවි කරුණානායක - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

චම්පිකගේ සියලු හොර වැඩ ළඟදීම හෙළිකරනවා - රවි කරුණානායක

ජාතික හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා වගකිවයුතු අක්‍රමිකතා සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තමාට ලැබී තිබෙන තොරතුරු රැසක් ඉදිරියේදී හෙළි කිරීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ උපනායක එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකුව සිටියදී පමණක් නොව ඊට පෙර තිබුණු ආණ්ඩුවලදීද පාඨලී චම්පික රණවක මහතාගේ අනුදැනුම මත සිදුවී ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු තමන් සතුව පවතින බවද කරුණානායක මහතා පෙන්වා දෙයි.

මෙම අක්‍රමිකතා වසා ගැනීම සඳහා චම්පික රණවක මහතා හැමවිටම සිදුකළේ ආණ්ඩු හා පක්ෂ මාරු කිරීම බවත් එසේ යටගසාගත් අක්‍රමිකතා රැසක තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් පවතින බවත් රවි කරුණානායක මහතා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමඟ මුලින්ම කටයුතු කළ පාඨලී චම්පික රණවක මහතා ඉවත් වීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට එක්වී කටයුතු කරමින් තමාට එරෙහිව පැනනැඟුණු චෝදනා යටපත් කරගත් බවද රවි කරුණානායක මහතා පෙන්වා දෙයි.

ඉන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාව පාවාදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට එක්වීම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ තවත් අවස්ථාවාදී ක්‍රියාවක් වශයෙන් හැඳින් වූ කරුණානායක මහතා ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව පාවාදී සමගි ජන බලවේගයට එක්වීමට  ක්‍රියා කළ බවද ප්‍රකාශ කළේය.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය පාවාදී ඇති පාඨලි චම්පික රණවක මහතා සමගි ජන බලවේගයේ නායකත්වය ගැනීම සඳහා සූක්ෂ්ම වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද කරුණානායක මහතා සඳහන් කළේය.

චම්පික රණවක මහතා තමාගේ වංචා, දූෂණ වසා ගැනීම සඳහා නිතරම පිල්මාරු කරමින් දේශපාලන නායකයන් පාවාදෙමින් කටයුතු කිරීමට මින් ඉදිරියට එවැන්නකට ඉඩ ලබා නොදී ඔහු යටගසා තිබෙන සියලු සිද්ධි හෙළි කිරීමට කටයුතු කරන බවත් රවි කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
මව්බිම


No comments:

Post a Comment

Post Bottom Ad