සහරාන්ට පිං සිද්ද වෙන්න ඔ්නැ.- හිටපු ආරක්‍ෂක ලේකම් පාස්කු ඝාතකයට පිං පමුණුවයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 20, 2020

සහරාන්ට පිං සිද්ද වෙන්න ඔ්නැ.- හිටපු ආරක්‍ෂක ලේකම් පාස්කු ඝාතකයට පිං පමුණුවයි.


පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම තමන් කිසිවිටකත් භාරනොගන්නා බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (19) සිව්වන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඔහු කියා සිටියේ ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවති බවය.

එහිදි පළමුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ වවුනතිව් ‍‍පොලිස් නිලධාරීන්ගේ ඝාතනය, මාවනැල්ල බුදු පිළිම කැඩීම, වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබියදි එය භයානක බව නොවැටහුණේද යන්නයි ?

ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ‘‘ වැටහුණා, නැගෙනහිර දේශපාලන ක්‍රියාවලියේ හැසිරීම ගත්තාම ඔවුන් රජයට කොතරම් අවශ්‍යද කියන එක සැලකිල්ලට ගනිද්දි පියවරක් ගැනීම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ ජාතික ආරක්ෂාවට වඩා වෙනත් කාරණයක් වැදගත් වන්නේද යන්නයි.

එයට පිළිතුරු දුන් හේමසිරි ප්‍රනාන්දු මහතා, “මෙරට පවතින මැතිවරණ ක්‍රමය අනුව සුළු ජාතිකයින්ට බලයක් තිබ්බා රජයට බලපෑම් කරන්න. ඒ අනුව රජය ඒ අය සතුටු කරන්න ගොඩාක් දේවල් කළා. ඉදිරියේදි හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබාදෙද්දි ඒ දේවල් කියයි. විශේෂයෙන් නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලනඥයින් හැසිරුණ අකාරය නිසා පොලීසියට තම රාජකාරි කිරීමේදි විවිධ බාධා එල්ල වුණා. අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නොහැකි වීම, අත්අඩංගුවට පත්වන තැනැත්තන් පොලීසියටම පැමිණ පැහැරගෙන යාම යනාදී දේවල් සිදුවුණා. එය ආරක්ෂක අමාත්‍යාංශයට හෝ නිලධාරීන්ට වැළැක්විය නොහැකි තත්ත්වයක් වුණා. ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ මට්ටමින් කළ යුතුව තිබුණා. නමුත් මුස්ලිම් දේශපාලනඥයන්ට අවශ්‍ය විදිහට බොහෝ දේවල් සිදුවුණා. ” යනුවෙන් පැවසීය.

එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සෘජුව විමසා සිටියේ සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම පිටුපස දේශපාලන බලපෑම් පැවතියේද යන්නයි.

එවිට හේමසිරි ප්‍රනාන්දු මහතා, ‘‘ ඔව් මට යම්තාක් දුරකට එහෙම හිතෙනවා, ඒ වන විට සහරාන් හෂීම් දේශපාලන පක්ෂයකින් මැතිවරණයකට පවා ඉදිරිපත්ව සිටියා” යනුවෙන් ප්‍රකාශ කළේය.

මුස්ලිම් තරුණයින් රැඩිකල් වීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබා දී තිබු වාර්තා ආරක්ෂක කවුන්සිලයේ අවධානයට යොමුකරන විට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වුනේ කුමක්දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් මෙහිදි විමසුවාය.

“ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වුයේ නැහැ. එතුමා කැමති වුණේ නැහැ මුස්ලිම් දේශපාලනඥයින් සමග අර්බුදයක් ඇති කරගන්න “යනුවෙන් කී හේමසිරි ප්‍රනාන්දු මහතා “ජනාධිපතිතුමා එක්ක මම පෞද්ගලිකව කතා කළා ස්වාමීනි IS පුහුණුව ලබා පැමිණෙන අය සහ ‍මෙරටට පැමිණෙන දේශකයන් ගැන. සමහර අයට වීසා අරන් තියෙන්නෙත් මෙහෙන්.” යැයි පැවසීය.

ජනාධිපතිවරයා ඊට කුමන ප්‍රතිචාරයක් දැක්වූයේ දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ජනාධිපතිවරයා ” මේ ඕවා පරිස්සමෙන් කරන්න ඕන, මුස්ලිම් දේශපාලකයන් තරහ කරගන්න බැහැ ” යනුවෙන් පැවසූ බවය.

ඒ ඇයි කියා විමසුවේ නැද්දැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඔහුගෙන් ඇසුවාය.

හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශකළේ විධායක ජනාධිපතිතුමාගෙන් තමාට ඊට වඩා යමක් විමසීමට නොහැකි බවය.

” මේ වගේ කාරණාවකට ඉබිගමනින් නැතුව ඉතා ඉක්මණින් පියවර ගන්න ඕනේ කියල ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේ නැද්ද? ” යනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එවිට විමසා සිටියාය.

ඊට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා, ” මට එතුමා සමඟ පුද්ගලිකව කතා කරන්න බැහැ. යම්කිසි කණ්ඩායමක් අපි අතර නෝක්කාඩුවක් ඇති කරලා තිබුණේ. අපි ඈත්වුණා. එතුමා විරසක වුණා මාත් එක්ක. මට ඔහු ගැන කලකිරීමක් ඇතිවුණා. මම කොහොමත් අයින් වෙන්න හිටියේ. සහරාන්ට පිං සිද්ධ වෙන්න ඒක ඉක්මන් වුණා,” යනුවෙන් පැවසීය.

එසේම වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා, “මම මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගන්න සූදානම් නැහැ. මේ තොරතුරු ආවම එය වැදගත් කොට සලකපු නිසයි ඒ ගැන ක්‍රියා කළ හැකි ආයතනය වන පොලීසියට දැනුවත් කළේ. මට ලැබුණ තොරතුරු ලාච්චුවට දාලා අවුරුදු නිවාඩුවට ගියානම් අන්න මම වැරදියි. මගේ මාස පහ හමාරක කාලය තුළ ප්‍රහාරයක් එල්ල වෙනවා කියලා මාව දැනුවත් කරලා නැහැ. ඒ නිසා මම රාජකාරිය පැහැර හැරලා නැහැ,” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

– adaderana

No comments:

Post a Comment

Post Bottom Ad