20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්තිවලට එරෙහිව දැඩි විරෝධයක් පළකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අවසානයේ සියලු විරෝධතා හකුළා ගනිමින් කවර තත්වයක් යටතේ හෝ එය පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බලයෙන් සම්මත කරදෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
පසුගිය 09 වනදා මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති විශේෂ රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් කළ දැඩි කරුණු දැක්වීම හමුවේ අදාළ මන්ත්‍රීවරුන් මෙසේ සිය විරෝධතා හකුළාගෙන ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
එහිදී 20 පිළිබඳ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා විසින් කළ දේශනයකින් අනතුරුව අනෙකුත් මැති ඇමතිවරුන්ට ද අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී තිබුණු අතර එහිදී ඔවුන් මෙතෙක් තමන් මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ විරෝධතා එතැනදීත් ප්‍රකාශ කර ඇත.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයා ලෙස තමන්ට මෙය සම්මත කරගැනීමට අත්‍යවශ්‍ය බවයි. අධිකරණය වෙත ඉදිරිපත් කළ සංශෝධන පමණක් ඊට එක් කළ හැකි බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපතිවරයාගේ දැඩි ස්ථාවරය හමුවේ විමල් වීරවංශ, ප්‍රේම්නාත් සී. දොලවත්ත වැනි විරෝධතාකරුවන් අවසානයේ තටු හකුළාගෙන ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට එය පාර්ලිමේන්තුවේදී සම්මත කරදෙන බවට පොරොන්දු වී ඇති බව සඳහන්.
-lankanewsweb
No comments:
Post a Comment