රට වටෙන් එකතු කළ පී.සී.ආර් සාම්පල 3000 ක් ලැබ්වල හිරවෙලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

රට වටෙන් එකතු කළ පී.සී.ආර් සාම්පල 3000 ක් ලැබ්වල හිරවෙලා !

දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු කළ පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල 3000ක් පමණ පරීක්ෂණවලට ලක් නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (13 වැනිදා) පැවැති සාකච්ඡාවක දී සහ රාජගිරියේ පිහිටි කොවිඩ් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පෙරේදා (12 වැනිදා) පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්‍රියා කට්ටල හිඟය රසායන ද්‍රව්‍ය හිඟය සහ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගෙන් ලබා ගන්නා සාම්පල ප්‍රමාණය අධික වීම නිසා මෙම තත්ත්වය උදා වී ඇත. මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් ඇති බවයි. සාම්පල ධාරිතාවය වැඩි වීම හේතුවෙන් ඊට සරිලන රසායනාගාර සංඛ්‍යාවක් සහ යන්ත්‍ර සංඛ්‍යාවක් සූදානම් නොමැති නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවද ඔහු පැවසුවේය. ඉදිරියේ දී නව පී.සී.ආර්. යන්ත්‍ර ආනයනය කර රසායනාගාරවල ස්ථාපිත කිරීමටද නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ මාර්තු 17 වැනි දින සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ තුන් ලක්ෂ පනස් දාහක් සිදු කර ඇත. දිනක පී.සී.ආර්. පරීක්ෂණ 5000ක් සිදු කිරීමට අවශ්‍ය ප්‍රතික්‍රියක කට්ටල සපයන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දී ඇත. කොවිඩ් වසංගතය ආරම්භයේ දී පී.සී.ආර්. පරීක්ෂණ 50000ක් අවසන් කිරීම දින 95ක් ගත වී තිබේ. නමුත් ලක්ෂ තුනේ සීමාවේ සිට තුන් ලක්ෂ පනස් දහස සීමාව දක්වා වූ පී.සී.අර්. පරීක්ෂණ කිරීමට ගත වී ඇත්තේ දින නවයක කාලයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

-උදයජීව ඒකනායක / අරුණ පුවත්පත


No comments:

Post a Comment

Post Bottom Ad