වසර දහ අටකට පසුව සුවිශේෂී ග‍්‍රහමාරු හමුවේ ඔබටත් සහ රටටත් සිදුවන්නේ කුමක්ද. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

වසර දහ අටකට පසුව සුවිශේෂී ග‍්‍රහමාරු හමුවේ ඔබටත් සහ රටටත් සිදුවන්නේ කුමක්ද.

 ප‍්‍රශ්නය- ඔබ වරින් වර අනාවැකි ගණනාවක් පළකළා. අන්තවාදී ප‍්‍රහාර ගැන ලෝක විනාශ මිථ්‍යාව ගැන, රන් මිල ඉහළ යන බව. තවත් දේවල් පසුගිය සතියේ සුවිශේෂී ග‍්‍රහමාරු දෙකක් සිදු වුණා. රාහු කේතු මාරුව මේ ගැන මොකද කියන්න තියෙන්නේ.


පිළිතුර- ඔව්, රාහු වෘෂභ රාශියටත් කේතු වෘශ්චික රාශියටත් මාරු වුණේ වසර දහඅටකට පස්සේ. මීට ඉස්සරවෙලා වසර 2002, 1983, 1964 කියන වර්ෂවල තමයි මේ මාරුව සිදුවුණේ. මේ වර්ෂ අපේ රටේ සුවිශේෂී සිදුවීම් සිද්ධ වුණ බව ජනතාවට මතක ඇති.


ප‍්‍රශ්නය- තව පුංචි ගැටලූවක් තියනවා. සමහර අය අහනවා මේ ග‍්‍රහයින් අතරේ රාහු කේතු කියලා ග‍්‍රහයෝ දෙන්නෙක් නෑ කියලා. තාරකා විද්‍යාඥයන්ට තවම එහෙම ග‍්‍රහයෝ ඉන්න බවක් පෙනිල නෑ. එතකොට මේ රාහු කේතු මිථ්‍යාවක්ද ?


පිළිතුර- අපි ග‍්‍රහ තාරකා ගැන කතා කරන්නේ නූතන විද්‍යාඥයන්ගේ සොයා ගැනීම්වලට අනුව නෙවෙයි. අනුරාධපුර යුගයේ අපේ මුතුන් මිත්තන් ග‍්‍රහ තාරකා ගැන දන්න දේවල් අපේ පැරණි පොත්වල සඳහන් වෙලා තියනවා. ‘‘දෛවඥ කාමධේනූ’’ කියන පොතේ ග‍්‍රහ ගණිතය උගන්වන්නේ සංඛ්‍යාවලින් නෙවෙයි. අක්‍ෂරවලින්. ඒ ඒ නැකත් වෙලාවල ආකාශයේ උදාවූණ තාරකා පන්තිය ඒ අය දැනගෙන හිටියා. ඔය වෙනකොට දුරේක්‍ෂය නිර්මාණය කරපු ගැලිලියෝ ඉපදිලාවත් නෑ.


අවාසනාවකට වගේ අපේ අධ්‍යාපන ක‍්‍රමය තුළින් ඉගැන්වෙන්නේ සියලූ දේ සොයා ගැනීමේ ගෞරවය බටහිර විද්‍යාඥයන්ට පූජා කරලයි.


ඔබ ඇහුවෙ රාහු කේතු කියන ග‍්‍රහයෝ ඉන්නෙ කොහෙද කියලා. සූර්යා වටා පෘථිවිය ගමන් කරන මාර්ගයත්, පෘථිවිය වටා චන්ද්‍රයා ගමන් කරන මාර්ගයත් කියන රේඛා කැපෙන ලක්‍ෂය දෙක තමයි රාහු සහ කේතු කියලා හඳුන්වන්නේ. මේ ස්ථාන දෙක ශක්තිය වශයෙන් ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතිං මේ ඡායා ග‍්‍රහයෝ එක රවුමක් යන්න වසර දහඅටක් ගත කරනවා. එක රාශියක වසර එකහමාරයි. වසර එකහමාරක් තිස්සේ රාහු ගමන් කළේ මිථුන රාශියේ. ගමන පස්සට නිසා මාරු වුණේ වෘෂභ රාශියට.


ප‍්‍රශ්නය- වසර එක හමාරකට පෙර සිදුවූ රාහු මාරුව ගැනත් ඔබ නැකතට ලියල තිබුණා. ඒ අනාවැකිය ගැන මතක් කළොත් ?


පිළිතුර- ඔව් ‘‘නැකත’’ මගින් වගේම රූපවාහනී සාකච්ඡා වලත් මම රාහු මිථුන රාශියේ ගමන් කළ පසුගිය වසර එකහමාර ගැන කීවා. මිථුන කියන්නේ ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නෙන් පස්වැන්න. එතැනින් කියන්නේ අධ්‍යාපනය. විශේෂයෙන් පාසල් පද්ධතිය ගැන. ඉතිං රාහු කියන්නේ මත්ද්‍රව්‍ය. මම කීවෙ පාසල් තුළට මත්ද්‍රව්‍ය ප‍්‍රචලිත වෙනවා කියලනේ. ඒක හොඳටම වෙන බව ජ්‍යොතිෂයට පෙනුණා. හැබැයි එහෙම වුණා කියලා ඔප්පු වුණේ ළඟදී ඉඳලා ආරක්‍ෂක අංශවලින් මත්ද්‍රව්‍ය වැටලීම් කරන කොටයි.


ඊටත් ඉස්සර වෙලා රාහුගෙ ගමන අනුවම තමයි කීවේ ශ‍්‍රී ලංකාවට අන්තවාදී ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සිද්ධ වෙනවා කියලා.


දැන් රාහු මාරු වුණේ ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයෙන් හතර වැන්නට. කේතු දහවැන්නට.


ප‍්‍රශ්නය- හොඳයි. මේ සැප්තැම්බර් 23 වැනිදා සිද්ද වුණ රාහු කේතු මාරුව කොහොම ද? කේතු ගැන ඉස්සර වෙලාම කතා කරමු.


පිළිතුර- රාහුයි කේතුයි මාරුවෙන්නෙ එකම වෙලාවේ. පසුගිය සැප්තැම්බර් මාරු වුණ මේ ග‍්‍රහයෝ දෙන්න ලබන 2022 අපේ‍්‍රල් 12වැනිදා දක්වා ගමන් කරනවා. ඉතිං ඔබ ඇහුවෙ කේතු ගැන. කේතු මාරුවෙන්නේ ශ‍්‍රී ලංකාව හිමි කේන්ද්‍රයේ දහවැන්නට.

හැම විටම පලාපල කියන්නේ

ග‍්‍රහයාගෙන් කියන කරුණු සමග භාවයෙන් කිය කරුණු එකතු කරලයි. ඉතිං ලෝකායන ජ්‍යොතිෂයට අනුව දහවැන්නෙන් රාජ්‍යය ගැනත් පාලකපක්‍ෂය ගැනත් කියවෙනවා. කේතු ග‍්‍රහයාගෙන් කොළ බහුල ගස් ඒ කියන්නේ තේ, බුලත්, වගේ ගස් ගැන හඳුන්වනවා. කේතුට හිමි වෘක්‍ෂය නම් කෙසෙල් ගස. ඒ වගේ වතු ආශිත ද්‍රවිඩ ජනතාව. වතු කම්කරුවන්. අනාවැකිය කියන්න ඕනෑ මේ දේවල් ගැන හිතලයි. කේතු ග‍්‍රහයා දහවැන්නේ වෘශ්චික යෙදී උච්ච බලය ලබනවා. උපරිම බලය.

ප‍්‍රශ්නය- මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?

පිළිතුර- තේ කර්මාන්තයට හොඳ කාලයක් ලබාවි. පසුගිය කාලයේ කඩා වැටිල තිබුණ තේ අපනයනය දියුණු වේවි. කසළ තේ වගේ වංචා සහගත වගේම රටට අපකිර්තියක් ඇති වුණ දේවල් අඩුවෙයි. උඩරට තේ වගාව කරන වතු කම්කරුවන්ගේ යහපතට දේවල් සිදුවේවි. ඒ වගේම වතු කම්කරු විශේෂයෙන් ද්‍රවිඩ නායකයන් රජය සමග සහයෝගයෙන් කටයුතු කරන බව පේනවා. ඒ වගේම බුලත් වගා කරන අයටත් හොඳ කාලයක් උදාවෙයි. කෙසෙල් වගාව අලෙවිය වගේ අංශත් දියුණුවට යන කාලයක් බව පේනවා.

ප‍්‍රශ්නය- රාහු මාරුව කොහොම වෙයිද ?

පිළිතුර- පාසල් අධ්‍යාපන අංශ, තරුණ පරපුර වටා ප‍්‍රචලිතව තිබුණ මත්ද්‍රව්‍ය උවදුර දුරු වේවි. කොරෝනා වසංගතයත් එක්ක පසුගාමීව තිබුණු අධ්‍යාපන කටයුතු යථාතත්ත්වයට පත්වෙන බවක් පේනවා.

ලෝකායන ජ්‍යොතිෂය අනුව හතරවැන්නෙන් කියන්නේ රජයට විරුද්ධ පක්‍ෂ ගැනයි. මුස්ලිම් ජනතාවගේ බහුතර සහයෝගය විපක්‍ෂයට ලැබෙන බව පේනවා. අනාගතයේදී මේ ක්‍ෂේත‍්‍රයේ නායකයන් අට දෙනෙකු කැපී පෙනෙනවා. ලබන වසර එකහමාර තුළ නියඟයකුත් තදබල ලෙස උදා වෙනවා.

ප‍්‍රශ්නය- රටේ සංවර්ධනය ගැන රාහුගේ බලපෑම කොහොම ද?

පිළිතුර- රාහු ග‍්‍රහයාගෙන් වායුව, ගෑස් වගේ දේවලූත් සංකේතවත් කරනවා. ඉතිං මේ භූමියේ ඛණිජතෙල් සහ ගෑස් වැනි සම්පත් ගවේෂණයට ඉතා හොඳ කලක් ලබලයි තියෙන්නේ. සොයන්නාට තමයි හම්බවෙන්නේ කියලා කතාවක් තියනවානේ. ඛණිජතෙල්, ගෑස් සොයන්නාටත් ඒවා හම්බවෙයි. ග‍්‍රහබලය එහෙමයි. පාලක පක්‍ෂයේ අවධානය යොමුවීම වැදගත් වෙනවා.

ප‍්‍රශ්නය- පුද්ගලයන්ගේ ලග්නවලට කොහොම ද?

පිළිතුර- ලග්න පලාපල ලිපි ගණනාවක් මම දැක්කා. ඒ වුණත් හරියටම දැනගන්න නම් තමන්ගේ කේන්ද්‍රය පරීක්‍ෂා කරන්න. රාහු කේතු අපලයට නම් පිරිත් පොතේ තියන චන්ද පිරිත, සූර්ය පිරිත භාවිත කරන්න. ඒවා මහා බලසම්පන්නයි.

-Divaina

No comments:

Post a Comment

Post Bottom Ad