‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති

රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති.

බෞද්ධ උපදේශක සභාව (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්නේය.

භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයකි. වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතුය. ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහය ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

කොවිඩ් 19 නව ප්‍රභේදයේ, සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.

බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්හ.

ඉදිරි සභා වාරයේ දී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

No comments:

Post a Comment

Post Bottom Ad