ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න යන රුපවාහිනී නාලිකාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 15, 2021

ආණ්ඩුවේ හිතවතෙකුට විකුණන්න යන රුපවාහිනී නාලිකාව

ඊ.ඒ.පී. (EAP) සමූහ ව්‍යාපාරයට අයත් කොටස් නීතිවිරෝධි ආකාරයෙන් විකුණා දැමීම පිළිබඳ විමර්ශන අවසන් වීමටත් ප්‍රථම එම සමූහයට අයත් ස්වර්ණවාහිනී නාළීකාව ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයකුට විකුණා දැමීමේ සූදානමක් පවතින බව ඊ.ටී.අයි. (ETI) ගනුදෙනුකරුවන්ගේ සමිතිය අනාවරණය කරයි.

ස්වර්ණවාහිනී ආයතනයට මෑතක් වන තුරු සම්බන්ධව සිටි ඉහළ නිලධාරියකුගේ සම්බන්ධීකරණයෙන් මෙම ගනුදෙනුව කඩිනමින් සිදුවීමට නියමිත බැවින් එය වහාම නතර කර ආයතනය රජයට පවරා ගැනීමට මැදිහත්වන ලෙසද එම සමිතිය රජයෙන් ඉල්ලා සිටී.

ස්වර්ණවාහිනී ආයතනය ඇතුළු ඊ.ඒ.පී. සමූහයට අයත් ව්‍යාපාර අලි රාජා සුබාස්කරන් නමැත්තා විසින් මිලදී ගැනීමේදී සිදුව ඇති නීතිවිරෝධි ක්‍රියා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකළ අතර ඊට අදාළ වාර්තාව 2021 මාර්තු 9 වැනිදා නිකුත් කර තිබේ. එම වාර්තාව මේ වන විට නීතිපතිවරයා වෙත යොමුකර ඇති අතර නීතිපතිවරයා විසින් සිය අවසන් නිර්දේශය ලබාදීමට ප්‍රථම මෙලෙස ස්වර්ණවාහිනිය නැවත විකුණා දැමීමට සූදානම් වන බව පැවැසේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන ඇති ආකාරයට මීට පෙර සිදුවූ ගනුදෙනුවේදී ස්වර්ණවාහිනී ආයතනයේ කොටස්වලින් 39%ක් සිංගප්පූරුවේ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ආයතනය විසින් මිලදී ගෙන ඇති අතර ඉතිරි කොටස් 61% මිලදී ගෙන ඇත්තේ එහි මෙරට නියෝජිතයන් වන බෙන් ​හෝල්ඩිංග්ස් ආයතනය විසිනි. කෙසේ වෙතත් බෙන් හෝල්ඩිංග්ස් ආයතනය එම මිලදී ගැනීම වෙනුවෙන් ආයෝජනය කර ඇති සියලුම මුදල් විදේශීය සමාගමක් වන පෘතුගාලයේ ලියාපදිංචි පෙට්ගෝ කොමොර්ෂියෙන් වෙතින් ලබාගෙන ඇත. ඒ අනුව ස්වර්ණවාහිනියට යොදවා ඇති සමස්ත මුදල විදේශීය ආයෝජනයක් වන අතර එය මෙරට ජනමාධ්‍ය ආයතනයක හිමිකාරීත්වයෙන් 40% කට වඩා වැඩි ප්‍රමාණයක් විදේශීය හිමිකරුවකුට අලෙවි කළ නොහැකිය යන නීතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

නයන තරංග ගමගේ
-aruna


No comments:

Post a Comment

Post Bottom Ad