ගම්මන්පිලට අපි අයින් වෙන්න කිව්වත් විපක්ෂයට ඕන විදිහට අයින් කරන්න දෙන්නේ නෑ - පොහොට්ටු ලේකම් අද කියපු කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

ගම්මන්පිලට අපි අයින් වෙන්න කිව්වත් විපක්ෂයට ඕන විදිහට අයින් කරන්න දෙන්නේ නෑ - පොහොට්ටු ලේකම් අද කියපු කතාව

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්‍ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

ඉල්ලා අස්වන්න කීම හා තවත් පිරිසක් විසින් ඉවත්කරන්නට යාම අතර වෙනසක් ඇතැයි කී කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්‍ෂ උවමනාවට සහයෝගය දෙන්නේ නැති බවත් ඒ නිසා විශ්වාසභංගයට සහය නොදීමට පක්‍ෂය තීරණය කළ බවත් සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය : ඔබතුමාගේ ලිපියේ තිබූ ප්‍රධානතම කරුණ වන ගම්මන්පිල මහතා ඉල්ලා අස්වීම ඉටුනොවූ නිසා අස්කරන්න අවස්ථාව ලැබී තිබෙනවා. ඔබතුමාලා විශ්වාසභංගයේදී කටයුතු කරන්නේ කෙසේද?

පිළිතුර : අපි එදා දැනුම් දුන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයන්ගේ මතයයි. අපි ඉල්ලා අස්වෙන්න කිව්වාට විපක්‍ෂයට ඕනේ විදියට ඉල්ලා අස්කරන්න සහයෝගයක් දෙන්නේ නැහැ. එතුමා අස්වෙනවා නම් එය වෙනම තීරණයක්. ඉල්ලා අස්වන්න කීම හා තවත් පිරිසක් විසින් ඉවත්කරන්නට යාම අතර වෙනසක් තිබෙනවා. විපක්‍ෂ උවමනාවට අපි සහයෝගය දෙන්නේ නැහැ. ඒ නිසා අපේ පක්‍ෂය විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කළා. විපක්‍ෂයට අපේ ශක්තිය අඩුකිරීමේ අවස්ථාවක් නොදිය යුතුයි.

ප්‍රශ්නය : ඔබ ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළකරමින් කළේ රඟපෑමක්ද?

පිළිතුර : එය නාට්‍යයක් නෙවේ. ඉන්ධන මිල සහනයක් දීමට හැකිවූ විගස එය දීමට සූදානම් බව මුදල් ඇමතිවරයාත් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රශ්නය : විශ්වාසභංගයට සහය නොදෙන්නේ එතුමා ගැන විශ්වාසය ගොඩනැගිලා නිසා ද?

පිළිතුර : ඒවාට පිළිතුරු විවාදයේදී ලැබේවි. අපි යැවූ ලිපිය එක් කාරණයක්. නමුත් විපක්‍ෂයට වාසියක් ලබාදීම හා රජය කඩාඉහිරවීමට සහයදීම තව කාරණයක්. විපක්‍ෂය මෙවැනි සිල්ලර බාධක ඇතිකරද්දී ඒවාට මුහුණදීමට අපි කටයුතු කරනවා. අපිට රට හා රටේ අනාගතය සියල්ලට වඩා වැදගත්.


No comments:

Post a Comment

Post Bottom Ad