Allianz රක්ෂණ මගඩි ෂේප් කළ නියාමන කොමිසමේ ලොක්කි ගෙදර? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 23, 2021

Allianz රක්ෂණ මගඩි ෂේප් කළ නියාමන කොමිසමේ ලොක්කි ගෙදර?

රක්ෂණ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දමයන්ති ප්‍රනාන්දු මහත්මිය රක්ෂණ නියාමන කොමිසම සතු වගකීම් නොසලකාහරිමින් කටයුතු කර ඇති බවට වන චෝදනාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිසමේ පරීක්ෂණ කටයුතු මේවන විට අවසන්ව ඇතැයි වාර්තා වේ.

එම කොමිසම විසින් සිදුකළ පරීක්ෂණයේදී දමයන්ති මහත්මියගේ හැසිරීම රක්ෂණ ලාභියා ආරක්ෂා කිරීමට වඩා රක්ෂණ සමාගම් ආරක්ෂා කිරීමට මූලික වී ඇති බව හෙළිදරව් වී ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ කොමිසම පත්කරනු ලැබුවේ ඉකුත් කාලයේදී ශ්‍රී ලංකා මිරර් විසින් හෙළිකරන ලද Allianz Insurance රක්ෂණ වන්දි වංචා කිරීම හා වන්දි නොගෙවීම් ඇතුළු කාරණා සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය තොරතුරු සම්බන්ධයෙන් රක්ෂණ නියාමන කොමිසම අවධානය යොමු නොකිරීමට හේතු සොයා බැලීම සඳහාය.

එහිදී අදාළ වගකීම පැහැර හැර ඇති බවට රක්ෂණ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට සෘජුව චෝදනා එල්ලවී තිබිණි.

මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා එම කොමිසමේ සභාපති ලෙස කටයුතු කරණ අතර, එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස මහ බැංකු නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු, රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික හැරිස් සල්පිටිකෝරාල, රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික රාජා ගුණරත්න හා රක්ෂණ නියාමන කොමිසමේ සාමාජික ඉන්ද්‍රා බදුගේ යන මහත්ම මහත්මීහු කටයුතු කරති.

අදාළ චෝදනාවලට දමයන්ති ප්‍රනාන්දු මහත්මිය වැරදි කාරියවුවහොත් ඇගේ රැකියාව අහිමිවීමට ඉඩ ඇතැයි ද මේ අතර වාර්තා වේ.

එසේම, ඇය නොසලකා හැර ඇති රක්ෂණ සමාගම්වල මගඩි සෙවීමට තවත් කොමිසක් පත් කිරීමටත් බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි මේ අතර වාර්තා වේ.

ඒ අනුව රක්ෂණ වන්දි වංචා කිරීම හා වන්දි නොගෙවීම් ඇතුළු කාරණා සම්බන්ධ මහජන පැමිණිලිවලට සාධාරණයක් ඉටු කිරීමට හැකි වනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වී තිබේ.

මේ අතර, රක්ෂණ නියාමන කොමිසමේ සභාපති රසික් සරූක් මහතා සම්බන්ධයෙන්ද ඉදිරියේදී පරීක්ෂණයක් කිරීමට නියමිත බව පැවසේ.
-srilankamirror

No comments:

Post a Comment

Post Bottom Ad