වසර 70ක් කිරුළ දැරූ මහ රැජිණගේ සමුගැනීම අද! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, September 18, 2022

වසර 70ක් කිරුළ දැරූ මහ රැජිණගේ සමුගැනීම අද!

වසර 70 ක් පුරා බ්‍රිතාන්‍ය රජ කිරුළ හිස දැරූ දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍යය උත්සවය අද පැවැත්වෙනවා. ඒ, ලන්ඩන්යේ වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදීයි.
 මේ වනවිටත් මහජන ගෞරවය සඳහා වෙස්ට්මිනිස්ටර් ශාලාවේ රැජිනගේ දේහය තැන්පත් කර ඇති අතර තවත් පැය කිහිපයක් මහජනතාවට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඉන් අනතුරුව රැජිනගේ දේහය වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත රැගෙන ඒමට නියමිතව ඇත්තේ රාජකීය අවමංගල්‍යය උත්සවයේ කටයුතු වෙනුවෙන්.

දෙවන එලිසබෙත් රැජිණගේ විවාහ මංගල්‍ය මෙන්ම ඇයගේ කිරුළු පැළඳීමේ උත්සවය පවත්වා ඇත්තේ ද මෙම වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේදී වීම විශේෂත්වයක්.

රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී විම සඳහා විදෙස් රාජ්‍ය නායකයින් රැසක් මේ වනවිට ලන්ඩනයට පැමිණ සිටිනවා. ඔවුන් ද අද දිනයේදී රාජකීය අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලන්ඩනයේ ආරක්ෂාව තර කර ඇති අතර ස්නයිපර්වරුන් ගොඩනැගිලිවල වහල මත රැඳී සිටින අතර බුද්ධි අංශ නිලධාරීන් සහ පොලිස් නිලධාරින් ආරක්ෂක ක්‍රියාන්විතයේ නිරත ව සිටිනවා.
 
වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ සිදුකෙරෙන අවමංගුල් උත්සවයෙන් අනතුරුව රාජකීය දේහය වින්ඩ්සර් මාලිග පරිශ්‍රය වෙත රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව එහි පිහිටි සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ ඇති රාජකීය සොහොන් ගැබ තුළ දෙවන එලිසබෙත් රැජිනගේ දේහය මිහිදන් කිරීමට නියමිතව ඇත්තේ පිලිප් කුමරුගේ දේහය ද සමගයි.
 
එම අවස්ථාවට සහභාගී විම සදහා අවස්ථාව හිමිවන්නේ රැජිනගේ දරුවන්ට පමණක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad