පරුෂ වචන දෙගොඩ තලායයි... ශ‍්‍රීලනිප හමුව ගාලගෝටියක්... මෛත‍්‍රී මාරු වෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 15, 2023

පරුෂ වචන දෙගොඩ තලායයි... ශ‍්‍රීලනිප හමුව ගාලගෝටියක්... මෛත‍්‍රී මාරු වෙයි!

පළාත් පාලන මැතිවරණයට තරග කරන ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ අපේක්‍ෂකයන් දැනුවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී ඇතිවූ බහින්බස්වීමකින් වූ උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ආරක්‍ෂක නිලධාරීන්, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ස්ථානයෙන් පිටතට රැගෙන ගිය බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. පෙරේදා (14දා) සවස මෙම සිද්ධිය වී තිබේ.

පෙරේදා සවස 7.00 ට පමණ පැවති මෙම රැස්වීමේදී හිටපු ජනපතිවරයා අපේක්‍ෂකයන් ඇමතූ අතර ඒ අතරතුර නැගීසිටි ගම්පහ දිස්ත්‍රික් පක්‍ෂ සංවිධායක අජිත් බස්නායක මහතා හිටපු ජනාපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇත.

හිටපු ජනපතිවරයා නිසා පක්‍ෂය දෙකට තුනට කැඩී බිඳී ගිය බවත් තවදුරටත් පක්‍ෂය භේද කිරීම නැවැත්විය යුතු බවත් සංවිධායකවරයා සඳහන් කර ඇත.

හදිසියේම පක්‍ෂයට වැඩ බලන ලේකම්වරයකු පත් කළ බවත් එමෙන්ම හබරාදුව හා රත්නපුර ආසනවලට සංවිධායකවරු පත් කළ බවද ඒ නිසා පක්‍ෂය තුළ නැවත බෙදීමක් ඇති වන බවත් හෙතෙම චෝදනා කර තිබේ.

අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා තමා පක්‍ෂය වෙනුවෙන් විශාල කැපවීම් සිදු කළ බවත් පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීමට විශාල සේවයක් සිදුකළ බවත් අදටත් තමාට නඩු 400කට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සිදුව ඇති බවත් සඳහන් කර ඇත.

එහිදී නැගී සිටි තවත් අපේක්‍ෂකයකු එම නඩු පක්‍ෂයට අදාළ නඩු නොවන බවත් පාස්කු ප්‍රහාරය ඇතුළු බාහිර සිද්ධීන් බවත් සඳහන් කර තිබේ. මෙහිදී හිටපු ජනපතිවරයා හා ඔහුට හිතවත් පිරිසත් ඊට විරුද්ධ පිරිසත් අතර ඇතිවූ වචන හුවමාරුව උණුසුම් වීමත් සමග හිටපු ජනපතිවරයාගේ ආරක්‍ෂකයන් විසින් ඔහු එම ස්ථානයෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

අරුණ බෝගහවත්ත
Divaina


No comments:

Post a Comment

Post Bottom Ad