සති අග නිවාඩු කපා සේවා මුරය පැය 12ක් කරන්න රජයේ වෑයමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 13, 2023

සති අග නිවාඩු කපා සේවා මුරය පැය 12ක් කරන්න රජයේ වෑයමක්

කම්කරුවන්ගේ පැය 8ක සේවා මුරය සම්පූර්ණයෙන් ම අහෝසි කර පැය 12ක සේවා මුරයක් ගෙනෙන්නට වර්තමාන රජයේ සූදානමක් තිබෙන බවට නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් චෝදනා කළේ ය. අතීකාල දීමනා ගෙවීමකින් තොරව සේවකයන්ගෙන් පැය 12ක් වැඩ ගන්නට කර්මාන්ත හිමියන්ට අවස්ථාව සලසා දීමට ආණ්ඩුව කටයුතු කිරීම වහා නතර කළ යුතු බව ද හෙතෙම කීය.

ලෝකයේ වෙනත් රටවල් පැය 8ක සේවා මුරය පැය 6ක් දක්වා අඩු කිරීමේ ප්‍රවණතාවක නියැළී සිටින මොහොතක මෙලෙස ලංකාව සේවකයන් පිට අධික බරක් පැටවීම අසාධාරණ බව ත් මේ හේතුවෙන් කම්කරුවන් දිනාගත් අයිතීන් උල්ලංඝණය වන බව ත් ඔහු පැවසීය.

රටට ආයෝජකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට විවිධ ප්‍රචාරයන් සිදු කරමින් වසර ගණනාවක් පුරා වෘත්තීය සමිති දිනාගත් ආරක්ෂණ නීති සියල්ල ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ඔහු චෝදනා කළේ ය.

සතියකට දවස් 4ක් වැඩ කළ යුතු වන අතර දවස් 3ක් නිවාඩු ලබා දී එම නිවාඩු දිනයන් වැටුප් රහිත ඒවා බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බව ත්, එසේ ම, සාමාන්‍ය සතිඅන්ත නිවාඩු දිනයක් වන ඉරිදා දින නිවාඩුව ඉවත් කර සතියේ කුමන හෝ දවසක එම නිවාඩුව ලබා දෙන්නට අවස්ථාව සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

කම්කරු වෘත්තීය සමිති සංවිධාන සියල්ල මේ සම්බන්ධයෙන් එකමුතුව කටයුතු කරන බව ත් මෙවැනි යෝජනා මුල් අවධියේම පරාජය කිරීමට අවශ්‍ය පියවර සියලු දෙනා එකමුතුව ගත යුතු බව ත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

මේ සම්බන්ධයෙන් ‘ඉරිදා මව්බිම‘ කළ විමසීමේදී කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති කීවේ එවැනි කිසිදු යෝජනාවක් කම්කරු දෙපාර්තමේන්තුව ගෙන නොමැති බව ත් මේ සම්බන්ධයෙන් තොරතුරු කිසිවක් වාර්තා වී නොමැති බව ත් ය.
-mawbima

No comments:

Post a Comment

Post Bottom Ad